ඉර හඳ අමුනලා ගෙලේ පැළඳ ගන්න
පාරමීදම් පිරූ,
මීමිනි ජෝඩුවක්ය අපි
වෘක රැලක් මැද තනිවුණ.
පිරූ පින් මදිවෙලා සිතිජ ඉම බොඳ වෙලා
අනන්තාපරිමාණ අහස් ගැබ යා කරන
මිහිදුම් රැහැන් පට විසිරී ගියෙන් දස අත
නෙතින් නෙත වැළඳ හිඳ
දැහන් ගතවී බලා හුන්නෙමු
සුළඟේ ඉකිබිඳුම චණ්ඩ රළ පතරේ හැපී
සවන් තල දැදුරුකර හඹා එත දස දෙසින්
පුර හඳපත දකින තුරු රෑ
අහසේ
විය සිදුරෙන් බලා උන්නෙමු
කන කැසුබු යුවළක්ව අපි දෙදෙන
ගෙවීයන තුරාවට ඒ සොඳුරු පුර පෝය
කපක් කල් මඟ බලා හිටියා
මදිද?
පුරපසට අහිමිවුණ, අවපසෙහි
දිදුළු දෙන
යොවුන් කල මා නුඹෙන් නොලද
නෑඹුල් හාද්ද
හැරමිටියෙන් වඩිනතුරා
මඟ බලා හිඳින්නී,
මම, නුඹේ
මීමින්නියයි.
මල්ලිකා එම්. බණ්ඩාර
27. 07. 2011
No comments:
Post a Comment