Thursday, 10 November 2016

මාල ගිරවී - 1 වන කොටස​

      මාල ගිරවී, MAGPIE LOUNGE එකට අළුතින් ගොඩවැදුන කිරිල්ලියක්. ඇය, වරින් වර පාන්කිරිත්තන් අතරට පියඹා  එනු ඇත​. බලාපොරොත්තු තියාගන්න​.

මල්ලිකා බණ්ඩාර ලියන්නීය​.
මාල ගිරවී - 1 වන කොටස​

මා ඉදිරියෙහි ප්‍රතාපවත් යෝධයෙකු මෙන් නොසැලී ගමට මායිම්ව නැඟීසිටී හඳුරුක්කන්ද, එදා මෙන්ම තවමත් නිශ්චලව වැතිර හිඳී. මිනිසුන් උස් මහත්ව වැඩෙන්නාක් මෙන් යම් දවසක මේ කන්ද  උස්මහත්වී මීදුම් රොටු පසා කරගෙන අනන්ත අහස් නිල්ල​ ස්පර්ශ කරනු ඇතැයි මම කුඩා සන්දියේ විශ්වාස කළෙමි.  පසු කාලයේදි ඒ හැඟීම හුදු ළදරු සිතිවිල්ලක් පමණක් බව පසක් කර ගන්නට මම සමත් වීමි. කඳු මුදුනේ තැවැරුනු රත් පැහැ හිරුරැස් තවමත් ඇස ගැටෙන මුත්  එය සුන්දරත්වයක් හෝ අපූර්වත්වයක් දනවන්නේ නැතිතරම්‍ ය​. අද මා සිත අමුතුම ආකාරයේ සිතිවිලි වලින් පිරී ඉතිරී යමින් පවතින බව මට දැනෙයි. මේ ගම ජනාවාසවූදා පටන්, එහි ඉපිද ජීවිත් වන්නට අනන්තාපරිමාණ දුක් කන්ද​රාවක් විඳ, සාර්ථකව හෝ අසාර්ථකව මියදුණ මිනිසුන් හා ගැහැණුන්ගේ  ජීවිතවල, යථාර්ථය ඒ ආකාරයෙන්ම දුටු එකම සාක්කිකාරයා මේ කන්ද පමණක්මයයි මම සිතමි. ඔවුන්ද ජීවත් වන්නට ඇත්තේ මනුෂ්‍යත්වයට උරුම​  දහසකුත් එකක් සැඟැවුණ චරිතාංග​, මනෝභාවයන් සුඛ​-දුක්ඛ දෝමනස්සයන් අනුන් ගෙන් සඟවා ගෙනය​. මගේ හත්මුතු පරම්පරාවම ඉපිද මියගියේ මේ ගම් පියසේය​. මමද පිටගම්කාරයෙකු සමග විවාහවුණ මුත් ජීවිතය පටන් ගත්තේ මෙහිමය​. අප දෙදෙනාද, ඉතා දුෂ්කර ගමනක් අරඹා දෙපයින් නැගී සිටින්නට ගත් වෙහෙස අපමණය​.

එහෙත් අද අපේ ජීවිත පිළිබඳ සමාලොචනයක යෙදෙන්නට තරම් මෙහි ඉතිරිව ඇත්තේ මා පමණි. එක අතකින් මේසා විශාල ගෙයක​, පාළු පරිසරයක තනිවීම, ස්වභාව ධර්මය විසින් දෙන ලද මනුස්සයෙකුට දැරිය නොහැකි තරම් දඬුවමක්දැයි මට හිතෙයි. හුදකලාව මගෙ සිත පමණක් නොව ගතද තළා පෙළා මිරිකා දමා ඇති සෙයකි. තව මොහොතකින් කන්දෙන් පැන ගමට ගාටන හැන්ඳෑ අඳුර අපේ ගේ දොරකඩටද ළඟා වනු ඇත ​. අපේ ගෙවත්තට මායිම්ව සැතපුම් ගණනක් දුරට විහිදෙන රබර් වත්ත දැඉනටමත් කළුවර පොරෝනයක් මෙන් ගේ පිටු පසින් වැතීරී හිඳී. දෙණිය දෙසින් තණකොළපෙත්තන් ගේ සහ රැහැයියන් ගේ කලබැගෑනිය දැනටමත් ආරම්භක අවස්තාවේ පවතී. තවත් මොහොතකින් පළාත දෙවනත් වෙන්නට උන් හඬ තළනු ඇත​. එය මගේ දින චරියාවේ කොටසක් වන තරමට මගේ හිතට සමීපය​. පුංචි සන් දියේ මෙන් නොව​, අද මා ඒ සියලු කන්දොස්කිරියාවන් ස්වභාව ධර්මයේ විවිධවූත්, සුන්දරවූත් නිමවුම් ලෙස සලකන්නට හුරුවී ඇත්තෙමි. 
 දසක ගණනක් එහා ඈත ළමාවියත්, මහ ගෙදරත් මගේ සහෝදරියන් තිදෙනාත් සමඟ එකට කෙළි දෙලෙන්  ගත කළ සොඳුරුවූත්, අමරණීයවූත් පුංචි කාලය, පෙතිකඩක චිත්‍රණයවූ සිතුවමක් මෙන් මතුවී ඇඳී මැකී යනු සවිරා නමැති මගේ හිතේ නැවත නැවතත් සජීවි වෙනු මට දැනෙයි. 

අම්මාත් තාත්තාත් තමා ගැන කොතෙක් නම් බලාපොරොත්තු තියාගෙන හිටියාදැයි මතක් වී සියුම් දුකක් සිත කෙලවරකින් මෝදු වන්නට විය​. තාත්තා හිටියේ මං වෛද්‍ය​වරියක් වනු ඇතැයි දැඩි සිතා ගැන්මක් ඇතිවය​. ඔවුන් ඒ සිහිනය තුළ එල්බ ගෙන ගොඩනගන ලද මනෝ මන්දිරයන් බිඳ දමන ලදැයි ඔවුහු දැඩි නොරිස්සුමකින් පසුවූහ. එහෙත් මම දක්‍ෂ ශිෂ්‍යාවක නොවන බව  අවබෝධ කරගෙන සිටියෙමි​. එහෙයින්ම ​ දෙමව්පියන්ගේ මන දොළ සපුරන්නට  අසමත් බව දැන දැනම දෙමව්පියන් ගේ සිහින ලෝකය ගොඩ නැ ඟෙනු බලා සිටීම මහත් වේදනාවක් විය​. තමන්ට දරන්නට බැරිතරම්  බරක් තම ඉස මත පටවන්නට මේ තරම් ඔවුන් වලිකන්නේ මොන කරුමයකටදැයි මම කෝප වීමි. ඒ සමගම බලාපොරොත්තු බිඳ වැටීමෙන් අසරණ  වන දෙමාපියන් ගැන අනුකම්පා වෙන් මගේ සිත වැළපෙන්නට විණි.

ඒ වැළපුම් අතරින් මගේ හිත කොනිත්තන මතක ඉඳ හිට මගේ උඩු සිතට පාවී එනු ලබයි. පරණ තුවාලයක් කොනහා ලබන වේදනාත්මක වින්දනය එවෙන් විට මම අදද හැබැහින් අත්දකිමි. 

තාත්තා වරක්, ඉස්පිරිතාලෙන් ඉවත දමන ලද සේලයින් බෝතල් දෙකක්,  ඒවාට  සම්බන්ධ​ කර තිබු ප්ලාස්ටික් බට දෙකක්ද සමඟ​ ගෙදර ගෙනවිත් තිබිණි. ඉන්පසු සේලයින් බෝතල් වල ප්ලාස්ටික් වයර් දෙක කපා ඉවත් කර, කටුව සිදුරු කළ​ සිල්ලු ඇටයකට සම්බන්ධ​කර සවි කොට​ සකසා ගත් ​වෙද නළාවක් නිර්මාණය කර තිබිණි. තාත්තා මා ඉස්කෝලේ ඇරී එනතෙක් මඟ බලා හිඳ , වෙද නළාව මගේ ගෙලේ පැළඳුවේ කොයිතරම් ආඩම්බරයෙන්ද ? ඉන් පසු තත්තා අම්මාට කතා කර මාව පෙන්වමින්,
" මේ බලනවාකො උක්කුං දුවගෙ ලස්සන විතරක්. හරියට දොස්තර නෝනා කෙනෙක් වගේමයි. උක්කුං දුව දොස්තර විබාගෙ පාස් වුණාමත් ඔය වගේ හිටියි". තාත්තා කීවේය​.

අම්මාද මොහොතක් මා දෙස අසීමිත සතුටකින් බලා සිටියාය. නිතර අසනීප වන අම්මා තුළ, මහත්වූ බලාපොරොත්තුවක් පිළිසිඳින්නට ඇතුවා නොඅනුමානය. අම්මාගේ අසනීප ගති නිසා ඇගේ මුණේ සිනාවක් ඇඳුණේ ඉතා කලාතුරකිනි. බොහෝවිට  ඇය සිටියේ කෝපවූ ආකාරයකිනි. ශාරීරික අපහසුතාව හා දුබල බව නිසාම ඈ අපට කතා කළේ පවා රළු ස්වරූපයකිනි.
"අක්කුං, බත් කන්නෙ නැද්ද​?” බොහෝවිට ඇසුවේත් දත් මිටි කමිනි. කාමරයේ දොර ළඟට පැමිණියද උස් හඩින් කතා කිරීම ඇගේ පුරුද්ද විය​.
එහි ආදරයක තෙතමනයක් ගෑවීවත් නැතැයි සිතුන වාර අනන්තය, අප්‍රමාණය. මවක් දරුවෙකුට කෑමට කතා කරන්නේ ඒ ආකාරයෙන් නොවිය යුතුයයි ​ නොයෙක් විට සිතුනා මට මතකය​.
"අක්කුං බත් කන්නේ නැද්දැ"යි අම්මා අසන විට මමද උස් හඬින්,
"නෑ" යයි කීමට පුරුදුව සිටියෙමි. 

නූගත් කමත්, දරිද්‍රතාවයත්, නිරන්තර රෝග පීඩාවලින් හෙම්බත් වීමත්, නිසා ඇගේ කතා විලාසය එවැනි රළු ස්වරූපයකට හැඩ ගැසෙන්නට  ඇතැයි පසු කාලයේ මම අවබෝධ කර ගතිමි. ඒ නිසාම අම්මාගෙ ආමන්ත්‍රණයන් රළු යැයි නොසිතන්නට මහත්සේ වෙර දැරීමි.

පරිසරයෙන් උරුමවූ ගති ලක්‍ෂණ වෙනස් කර ගන්නට තරම් ප්‍රබලවූ සාධකයක් සහිත​, පවුල් පසුබිමක් මෙන්ම පුද්ගලිකවද අවබෝධයක්, අම්මා සතු නොවුණි. ගමේ අනෙකුත් ගැමියන් ජීවත් වූයේද, මගේ දෙමාපියන් ජීවත්වූ මනෝභවයන්, ඇගැයීම් මෙන්ම ජීවන වටිනාකම් තුළය​. අඩු තරමින් අධ්‍යාපන සාධකයවත් ඔවුන් වෙත ළඟාවී නොතිබීම, මහත් අභාග්‍යයක් බව මට බොහෝ විට තේරුම් ගොස් තිබිණි.

අම්මා ඉස්කෝලේ ගොස් තිබුණේ දෙකේ පන්තියටය​. ඇයට නමක් ගමක් කියවා තේරුම් ගැනීම හැර පොත් පත් පරිශීලනය කිරීමේ හැකියාවක් නොතිබුණි. අපේ අම්මගේ පියා, කිරි අත්තාද අධ්‍යාපනය යනු ඔහුගේ දූවරුන්ට දියහැකි ධනයක් ලෙස සලකන්නට තරම්, දැනුම් තේරුම් ඇත්තෙකු නොවීය​. ඔහු ගමේ පන්සලේ මිදුලේ ගසක් යට හිඳ, වැලිපීල්ලේ අකුරු ලීව බව කියා තිබුණා යන්තම් මතකය​. මුහුකුරා ගිය දැනුමක් ඔහුට නැතුවා සේම, ඔහුගේ වැඩිමල් දියණීයන් තිදෙනාටද, අධ්‍යාපනය අහිමි වීමට බල පෑ වෙනත් කාරණානම් ඕනෑතරම්  තිබී ඇත.

අනික් අතට තත්කාලීන සමජ පිළිගැනිම් වලට සමගාමීව, අපේ කිරිඅත්තා, ඔහුගේ දූවරුන්ට  යන්තම් නම අත්සන්  කිරීමට සහ බේත් තුඩුන්වක් කියවා ගැනීමට ප්‍රමාණවත් අකුරු හැකියාවක් තිබුණොත් ඇතැයි නිගමනය කළා වියහැකිය​. ඒක ඒ කාලයේ හැටිය. ගෑණු දරුවන්ට පාසල් දොර වසා තැබීම, සිංහල සංස්කෘතියේ එක් අඳුරු පැත්තක්ව, පැවතුනා වියහැකිය​. ගැහැණු දරුවෙකුගේ භූමිකාව වූයේ දෙමව්පියන්ට ගෙදරදොර ඉහුම්-පිහුම් වලට උදව් කිරීමත්, වතු-පිටි කුඹුරු වල වැඩට අත් උදව් දීමත්‍, බොහෝවිට පවුලේ බාල සහෝදර සහෝදැරියන් රැක බලා ගැනීමත් වැනි දේය​. ස්වයම්පෝෂිත ආර්ථික ක්‍රමයේ පැවැත්මට අදාල දේට කුඩා කල සිටම අත හුරුවූ අතර විශේෂ​යෙන් ගැහණු දරුවන්ට ළමා කාලයේදීම තම බාල සහෝදර සහෝදරියන්ගේ කිරි මව්වරුන් ලෙස​ වගකීම බාර ගන්නට සිදුවිය. අපේ අම්මලා ගැන මා දැන සිටි සත්‍යය නම්, ඔවුන් ගමේ වෙල් යාය පුරා අත්තමට කුඹුරු වැඩවලට සහබාගිවීමත්, ගෙදර දොර දහසකුත් එකක් කටයුතුවල නිරත වීමත්‍​ය. බාලවියේදීම ඔවුන්ගේ මවගේ මරණය සිදුවීම නිසා, අම්මා ඇතුළු ඇගේ වැඩිමහල් සහෝදැරියන් දෙදෙනාගේද ඉරණම, බෙහෙවින් වෙනස්වන්නට ඇතැයි මම සිතමි.

කිරිඅම්මා මියයන විට, අම්මා දෙහැවිරිදි දැරියකව සිටි බව අසා ඇත්තෙමි. එයින් අවුරුද්දකට පමණ පසු කිරිඅත්තා නැවතත් විවාහයක් කරගෙන තිබේ. අම්මා සහ ඇගේ වැඩිමල් සහෝදැරියන් දෙදෙනා, ඔවුන්ගේ කුඩම්මාගේ අනේකවිධ කෙනෙහිලි කෙනිත්තිලි වලට ගොදුරු වෙමින්, හැදී වැඩුණ බව අම්මා නොයෙක්වර කියා තිබිණි. දැරියන් තිදෙනාට මවගේ මරණය නිසා ඔවුන්ගේ ළමා විය අහිමිවී තිබුණා මදිවාට, කුඩම්මාගේ අනාදරය හමුවේ, ගුලට හිරවුණු හික්මීයන් මෙන් තමන් ගේ ගෙදරට  කොටුවී සිටින්නට සිදුව තිබිණි. යන්තම් වැඩිවියට පත්වූ සැනෙන් ලොකු අම්මලා දෙන්නා විවාහ කර දෙන්නට ඉක්මන්වී ඇත​. කිරිඅත්තාගේ දෙවන විවාහයෙන් ​ පවුලට අළුතින් එක්වු සහෝදරියන් තිදෙනෙකුම ඇති දැඩිවුණේ අපේ අම්මාගේ අත් උදව්වෙනි.
අපේ අම්මා ගේ  අතීත ජීවිත කතා ඇසුරින්, පර-අම්මා යනු, කෲරත්වයේ සංකේතයක් ලෙස මගේ ළමාවිය මට උගන්වා තිබුණි. දූවරුන් තිදෙනෙකු සිටින කනවැන්දුම් පුරුෂයෙකු සමඟ විවාහ ජීවිතයක් ගතකිරීමට සිදුවීමම, ගැහැණියකගේ අවාසනාවක් වන්නට ඇතැයි දෙවෙනි කිරිඅම්මාගේ කියුම් කෙරුම් සහ පැවතුම්, ඇසුරෙන් නොයෙක් විට මට තේරුම් ගොස් තිබිණි.

අම්මා නැති දරුවන්ට ළමාවියක් තිබුණේම නැති තරම්. ආදරය​, රැකවරණය හෝ තම මවගේ රැකවරණයේදී අත්දැකිය හැකි බුක්තිවිඳිය හැකි නිදහසක්, ලොකු අම්මලාටත් අපේ අම්මාටත් හිමිවී නැත​. වයසට ඔරොත්තු නොදෙන වගකිම්, නොසලකා හැරීම් හා අවලාද මෙන්ම, දැරිය නොහැකි බරින් ඔවුන් ගේ ළමා මනස් හෙම්බත්ව තිබුණා විය හැකිය​​. ලොකු අම්මලා සහ අම්මා කියන පරිදි, විවාහ වෙන්නට පෙර​ ඔවුන් යන්තම් හෝ එළි-පහළියකට ගියේ සිංහල අවුරුද්දට පමණි. වෙසක් දවසට පන්සලට​, පේරු දානේ දවසට පන්සලට​, ගෙදර ළිඳෙන් නෑම, කුඹුරෙන් ගෙදරට, ගෙදරින් හේනට හැර වෙනත් විනෝදාංශ එදා දැරියන්ට තිබුණේම නැති තරම්. අවුරුදු කාලයට අම්මලාගේ මහ ගෙදර විශාල මිදුලේ, ගමේ ගැහැණු එකතුවී රබන් ගැසූ අතර කළගෙඩි පිඹීම වැනි සාම්ප්‍රදායික සිංහල කෙළි සෙල්ලම් කළ බව, අම්මා සමහර දවස් වල අපි සමඟ විස්තර කළා මට මතකය​. අම්මාටද රබන් ගැහීම හා කළගෙඩි පිඹීමට මනා හැකියාවක් තිබූ බව අවුරුදු කාලයට අපේ ගෙදරදී ගමේ ගැහැණුන් එකතුවූ විට​ දැක ඇත්තෙමි. එවන් අවස්ථාවලදී නම් ඈ හැබැහින්ම සතුටින් සිටිබව මට මතකය​.

     "මේ බේබද්දා එක්ක එන්ට වුණේ මගෙ පූරුවෙ කරුමෙට​"
    තාත්තා රා බී ගෙදර එන ගමන් මඟ වැටී සිටින බව කියන්නට ගෙදරට ආව කෙනෙකු සමඟ අම්මා කියනු මා නොයෙක් වර අසා තිබුණි. එතැන් සිට අම්මා ඇගේ කුඩම්මාටත් පස් පඩංගුවේ බැනවැදුණාය​. ඉන් නොනැවතී සාප කළාය​. අන්තිමේදී දෙපයින් නැගිට ගන්නට තරම්වත් සිහියක් නැති, තාත්තා වත්තම් කරගෙන ඇය​ ගෙදර ගෙනාවාය​. බොහෝවිට ලොකු අක්කද අම්මා පසු පසින් මඟට ගියාය​.
   "මම නෙවෙයි ඔන්න ජරාව සුද්ද කරන්නෙ. පිලේ බුදියෙන්ට බෑ ඔන්න​. දර මඩුවට​... හ්ම්ම්..."
  අනතුරුව ඇය​ පරණ පැදුරු කඩමාල්ලක් ලී මඩුවේ මැටි පොළොව මත දිගාරිමින් තාත්තාට නිඳා ගැනීමට සලස්වන්නීය.
   එහෙම වෙලාවට ලොකු අක්කා ඉදිරිපත්ව තාත්තාට සහන සලසන්නට සිතා නොයෙකුත් අයුරින් අම්මාට ඇවිටිලි කළාය​.
“අනේ පව් අම්මා! පව්, තාත්තා දර මඩුවේ දාන්නෙ ඇයි?
උඹ කට වහපන් නීලිකා " අම්මාගේ ගොරනාඩුව හමුවේ අක්කාට පසු බසින්නට සිදුවේ.

ලී මඩුවේ පැදුරේ වැතිර ගෙන තාත්තා නන් දොඩවන්නට පටන් ගනියි. මැදියම් රැය වනතුරුත් දෙඩවීම නොනවතී. දෙඩවීමට අනන්තවත් මාතෘකා සොයා ගැනීමට තාත්තාට පුළුවන. නිතර මතකයට එන මාතෘකා අතර දෑවැදි ප්‍රශ්නය මුල් තැනක් ගනියි.​ අම්මා වෙනුවෙන් පොරොන්දුවුණ විදියට දෑවැදි නොදුන්නායැයි, තාත්තා අපේ කිරි අත්තාට නොහොබිනා බැණුම් බණින්නට පටන් ගනියි. පවුලේ ඉතිහාසය හදාරන්නට අපට ප්‍රවේශයන් ලැබෙන්නේ, තාත්තා බීමත්කමින් නන් දොඩවන මෙවැනි රාත්‍රි වලදීය​. එවැනි රාත්‍රීන් වල මගේ සිත, තාත්තා මෙන්ම අම්මා කෙරෙහිද​, සංවේගාත්මකවූත් සානුකම්පිකවූත් මනෝභාවයන් ගෙන් පිරීතිරෙයි.

ජීවිතය කියන්නෙ මේකද​?

මම මගෙන්ම ප්‍රශ්න කර ගනිමි. 

(මීළඟ කොටස නුදුරේදීම...​)



       

No comments:

Post a Comment