මුළු රාත්‍රිය පුරා නිදි නොලැබ පැදුරේ
ඒමේ අත පෙරලෙමින් මම අක්මුල් නොපෙනෙන සිතුවිලි රළපතර කිමිද ඇත්තෙමි. රුවල බිඳී ගිය නැවක තනිවූ එකම ජීවියා මෙන් ජීවිතය පතා බලාපොරොත්තු සහගත
වීමි. ගොඩබිමක් ඇසගැටෙන මානයක ඇද්දැයි විමසිසිල්ලෙන්
යුතුව ජීවිතයෙහි එල්ලී සිටියෙමි. අනික් අතට,
සාගර තටයෙහි අතරමංව ගොඩබිමක
ඡායාවක්වත් නොදැක පොරබදන්නට නම් අපට උරුමව ඇති
යොවුන් විය කුමටදැයි සිතා ඇත්තෙමි. මගේ ළමා වියත් හිරිමල් යව්වනයත් වයසට තරම් නොවන
කටුක වූත් තික්තවූත් පාරිසරික හේතූන් විසින් තළා පෙළා දමනු ලැබිණ.
“මේ තරම් බියකරුවූත්, ශෝකජනකවූත් පරිසරයෙන්
මිදෙන්නේ කොහොමද”යි එවැනි අවස්ථා වලදී මම සිතා ඇත්තෙමි.
“ඇද්ද? ඔන්න ජාතක කතා පොත පෙරලන්ට පටන් ගත්තා"
අක්කා කියන්නේ අම්මාට ඇනුම් පදයක් ලෙසය.
බොහෝවිට පවුලේ ප්‍රවෘත්ති වලට අමතරව තාත්තා පරණ නාඩගම් ගීත පටන් ගනියි.
එකකින් පසු තව එකක් වශයෙන්, මතකයට එන ගීත වල පදයක් දෙකක් ගයන අතර, අමතකවූ
පද මතක් කර දෙන ලෙස ඉල්ලා සිටින්නේද අම්මාගෙනි. එවන්
විට අම්මා,
" මගෙන්
මොකොවත් අහගන්ට එපා"යි කියා දත්මිටි කමින්
නිහඬවන්නීය.
සිංදු වල බාග වුවද තාත්තා ඉතා හොඳින්
ගයයි. සැබවින්ම නාඩගම් ගීත ගායනයෙහි අපූර්ව හැකියාවක් තාත්තාට ඇතැයි එවන් විට මම සිතුවෙමි.
" හස්තීසෛල
පුර නම් දරනා
පුරයේහි අග රාජ වෙමිය මෙමා//
බුවනෙක -බා යන - නාමෙන් පසිඳුව..."//
තාත්තා විසින් බොහෝ දින වල මෙවන් ගීත
ගයනු ලැබුවේය. ඒ ළයාන්විත හඬ අද ඊයේ ඇසුනාක් මෙන් තවමත් මගේ මතකයේ ප්‍රතිරාව
දෙන්නාක් මෙන් දැනේ.
මගේ සිත මොහොතකට නතරවෙයි.
ඇතුලාන්තයෙන් මිමිණෙන හඬට සවන්දී මොහොතක් නිහඬවෙමි. තාත්තා පිළිබඳව කැකෑරෙන
අනුපමේය සෙනෙහසකින් මගේ සිත පිරීයනු දැනෙයි. දෑස් කොණ ගොනුවෙන කඳුළක් ඉබේ රූරා
ගලාවිත් කම්මුල් පථයෙහි සිට මගේ ළය මත පතිත වෙන විට මම
පියෙවි ලෝකයට පිවිසෙමි. මගේ ළමා මනස තුළ සිතුවම් වූ චිත්‍ර අතරින් ධ්වනිතවූ රාවයන්, මිහිරි හෝ අමිහිරි බවකින් තොරව සවන් දී සිටීම, සංවේදනාත්මක වින්දනයකින් සිත පුරවන්නට සමත් ය. 'ජීවිතය යනු පංච රසයෙන් යුක්ත නෙල්ලි ගෙඩියක් වගේ" යයි අප කුඩා
වියේදී අපේ ගෙදරට නිතර ආගිය අමිතක්කා නිතර කියනු මා අසා ඇත්තෙමි. ඇත්තටම ජීවිතය කියන්නෙ හැමදේම එකතුවක්! මමත් එහෙම සිතන්නට පසු කාලයේදී
හිත හදාගතිමි.
අපේ තාත්තා මෙන්ම, අනෙකුත් ගැමියෝද දරිද්‍රතාවයෙන් පරිපීඩිතව, නූගත්කම නිසා පාලනය කරගත නොහැකි මනෝභාවයන් නිදහස් කරනු වස් බොහෝවිට මත්
පැන්වලට අබ්බැහි වූහ. දරු පවුලක් නඩත්තු කරගත නොහැකිව දෛනික ජීවන ගැටළු සමග
පොරබදන අනෙක් බොහෝ ගැමි පවුල් මෙන්ම අපේ පවුලේද එතරම් වෙනසක් නොවීය. අතීතය මිහිරි
නොවුනද ඒ අමිහිරිවූ බොහෝ දේවල පවා සිත් බඳිනා සුළු
සුන්දරත්වයක් ඇතැයි අද මම අනුමාන කරමි. හදිසියේම අම්මාත් තාත්තාත් නැති බව හැඟෙන විට සිහින් වේදනාවකින්
මගේ සිත ඇදුම් දෙන්නට විය.
බොහෝ හැන්දෑවල දුරතියා ඇහෙන තාත්තාගේ
ගී හඬ යන්තම් ඇහෙන විට අම්මා මිදුලටවී ස්වල්ප
මොහොතක් වෙල ඉස්මත්ත දෙස බලා හිඳන්නීය. එවන් බොහෝ
අවස්ථා වල අම්මා මිමුණුවේ එකම වචන මාලාවකි.
"ඕං අදත්
නරිජ්ජ ටික කටේ වක්කරගෙන එනවද කොහෙද" .
අම්මාගේ ඇඳ සිටින චීත්තයේ කොනක
එල්ලීගෙන මමද ඇල නියර දෙස බලා සිටියෙමි.
“මේ මනුස්සයා කවදා
හැදෙයිද දෙවිහාමුදුරුවනේ?"
අම්මා සෙමෙන් මුමුණන්නීය. අම්මාගේ හඬ
බෙහෙවින් දුක්බරය.
අම්මාට පමණක් නොව අපටද මේ චරියාව
දැරිය නොහැකි තරම් කටුක බව දැනෙන්නට විය.
" ඊයේ
ඔයාලගෙ තාත්තා වෙලේ වැටිලා හිටියා"
" ඊයේ අපෙ
ගෙදර ළඟ දෙවැටේ ඔයාලගෙ තාත්තා වැටිලා හිටියා"
පන්තියේ ළමුන් නොයෙක් වර මා ඉදිරියේදී
කියා තිබිණි.
එවැන්නක් ඉස්කෝලේදි අහන්නට ලැබීම මොන
තරම් ලැජ්ජා වීමට කාරණයක් වීද?.
බීමත් පියා මහ මඟ වැටී සිටීම මොන තරම්
නිඟාවක්ද?
තාත්තා බීමත්ව මහපාරේ වැටී සිටි දවසට
පහුවදාට, ලොකු අක්කා ඉස්කෝලේ ගියේ නැත. ගුරුවරුන්ටත්
ළමයින්ටත් මුහුණදීම අපහසු නිසා ඇය බෙහෙවින් කනගාටු වූවාය. මේ දෛනික චර්‍යාවෙන් තාත්තා මුදවාගන්නේ කොහොමදැයි විවෘතව කතා
කරන්නට තවත් කාලයක අපි උත්සාහ කළෙමු.
ඇතම් දිනක තාත්තා සිංදු කීවේ
අම්මාටය. එකල ජනප්‍රිය ගීත නවීකරණය කර ගායනා කරමින් පාර පුරා වීසිවෙමින් තාත්තා හවසට ගෙදර එන්නේය.
මහ වෙල් යායේ මහ නියරදිගේ තාත්තා එන
හඬ අපට ඇහෙන්ට පටන් ගනියි.
තාත්තාගෙ ප්‍රියතම ගීතයක්වූ "ආලෙ
බැන්ද මාගෙ පනේ සෝමාවතී" යන්න
“ආලෙ බැන්ද මාගෙ පණේ
කමලාවතී....මගෙ කමලාවතී.....
වැව් බැන්දා දිය බැන්දා කමලාවතී”.
යනුවෙන් ඔහු ගැයුවේ ගමටම ඇසෙන්නටය.
අම්මාගේ නම කමලාවතීය. ඒ වගේ වෙලාවට, අම්මාගේ ප්‍රලය වීම එක
අතකින් සාධාරණයයි මට සිතේ.
තවත් දවසක ඔහු ගැයුවේය.
“කමලො මම ආයෙ ගෙදර
එනවා...මට හරි කේන්ති යනවා...”
තාත්තාගේ සමහර ගීත අසල්වැසියන්ට
විනෝදය සැපයූවා වන්නට ඇත. එහෙත් අපේ පවුලේ, අප හතර දෙනා බෙහෙවින් ලජ්ජාවට පත්වන බැවින් අම්මාද හැපින්නක ලෙස
කිපුණාය.
"කෙල්ලොම
හතරදෙනෙක් ඉන්න ගෙදරක අප්පා හවසට ගෙදර එනහැටි තමයි ඔය"
අම්මා දත් කූරු
කමින් කටට එන තොරතෝන්චියක් නැති වචන පාවිච්චි කළ අතර බැරිම තැන, කඩප්ප්පුලි පුත්තු හැදීමේ වරදට අපේ අත්තම්මට, තාත්තාගේ අම්මාට, පවා බැන වැදුණාය.
එවැනි අවස්ථාවලදී අපි බහෙවින් කනස්සල්ලටත් අපහසුතාවටත් පත්වීමු. අප
අත්විඳි එවන් අතදැකීම් නිසා ඇතිවු අසරණ භාවය, ඒ චිත්ත ස්වභාවය ආත්ම භංගත්වය යයි මම නම් කරමි.
මෙවැනි පවුල් පසුබිමක් තුළ අපේ පවුලේ එකිනෙකා කටයුතු කළේ තම තමන්ගේ අභිමතයට අනුකූලව මිස නිශ්චිත
ඉලක්කයකට අනුව නොවේ. අපට මඟ පෙන්වීමට තරම් මව හෝ
පියා නිරවුල් මනස් වලින් යුතු නොවිණි. ඒ නිසාම ලොකු අක්කා විශ්ව විද්‍යාල ප්‍රවේශය දක්වා අනන්ත කැපවීමකින් හා වෙහෙසකින් ඉගෙණීමේ
යෙදෙන්නට සනිටුහන් කර ගන්නට ඇත. තුන්වන වර විභාගයට පෙනී සිටි ලොකු අක්කා, ඇය තුළ ඇති තිත්තකම ප්‍රකාශ කෙරෙන දේවල් නොයෙක්වර කී බව මගේ මතකයට නැගෙයි.
"ඇත්තමයි මට මේ
ගෙදරින් තුරන්වෙලා ටික කාලෙකටවත් ඉන්ට, මේ සැරේවත්
පාස් වුනොත්! එහෙනම් මම පේරාදෙණිය විශ්ව විද්‍යාලෙට යන්නෙ නෑ. ගෙදරට
ළඟ වැඩියි. බලෙන් හරි කොළඹ විශ්ව විද්‍යාලෙට රිංගා
ගන්ටයි මට ඕන” ලොකු අක්කා වරක් කීවාය.
“එතකොට අපි?”
ඒ පොඩි අක්කාගේ නෝක්කඩුවය.
"ඉතින් තමුසෙලත් පාඩම් කරල ගොඩ යන්ට බලනව. කාලා… කාලා, පිඹුරො වගේ නිදන්නෙ නැතුව. විභාගෙ හරියට කරගත්තොත් මේ අපායෙන් නිදහස් වෙන්ට පුළුවන්"
(මතු සම්බන්ධයි).
No comments:
Post a Comment