Saturday, 12 November 2016

විරාමය!


අතීතය මක මකා ලියන්නට හැමදාම​
වැරැදුනා මිස නැද්ද හරි දෙයක් තිබුණේම​
හනික යළි නැඟිටින්න පරක්කුයි වැටුනාම​
දුකට ඇඬුවා තමයි බිම ඇනී රිදුනාම

වල ගොඩැලි සමතලා කළ කෙනෙක් නැතුවාම​
ගෙවුන සැතපුම දිගයි  මඟ වෙහෙස දැනුණාම​
වැටුණ තැන පාඩමක් ඉගැන්වූ හින්දාම
හිතට නම් ඇතෙකුගේ සවිය එනවා තාම​

ළය මඬල සිදුරුකර සර-පහර බින්දාම​
ගලක් විණි විලක ලේ අසා නවනින්දාම​
හෙටක් නැති අද ලැබූ මියුරු දුක වින්දාම​
තවත් මට දිනන්නට ලොවක් පවතිනු කෝම​​?

මුවන් මෙන් ජීවිතේ මිරිඟු දිය හඹන සඳ​
ගිමන් හැර මොහොතකට තුරු සෙවන​ සිහිල මැද​
ගීතිකාවක් ගයා  අසරු පෙළ සමඟ හිඳ 
නිමක් නැති ගමන යමු මඟ රැඳෙන පවන විඳ

මල්ලිකා  එම්. බ​ණ්ඩාර

11. 11. 2016

No comments:

Post a Comment