දශක ගණනක් ගෙවී, එදා අන්තිම වරට
තාත්තා දුටුව දා මතකයට නැගෙනවිට
සිහිනයෙන් වතල සුවඳක් ලෙසින්
මගෙ මිලින ආත්මය ඉපිලයයි සෙනෙහසින්
හිඩැස් පුරවනු පිණිස මැරුණු ඉතිහාසයේ
පන්හිඳක් තල් පතක්
අතැතිව
මෙනෙහිකොට අතීතය පුරා
ඇති මඟ නොමඟ,
පශ්චාත්තාපයේ යාඥාවෙහි
ගැලී
මරණ මංචකය මත වැදහෝන
සිහ රජෙකු, ඇත්
රජෙකු මසිත මුල වැඩහිඳී
මහමෙරක් තරම් බර
තුලාවේ එක පසෙක
දරාගෙන අවසාන
නිමේසෙදි,
"පීතු
පාදං නමාමහං" යයි කියන්නට
සිතුන මුත් දෙපා සිඹ
සමුගන්න
එවන් සමුගැන්මකට ඇයිද
පසුබට වුණේ?
අදත් මට නොවැටහෙයි.
කොහේ හෝ තැනක ඉරණම්
පොතේ
ඡේදයක් ලියවෙලා
තිබුණාද තීන්දුව
අපේ අවසන් හමුව එසේ
යෙදෙතියි කියා ?
අදත් මට නොවැටහෙයි.
කුර ගගා ලඟා වෙන, මරණයේ
සීතලය
රැඳී තිබුණාද ඔබෙ නළල
මත මටත් දැනෙනා පරිදි?
මරණයේ සෙවැනැල්ල හඹා
මා පසුපසින්
මහ දැවැන්තයෙකුසේ දැවැටිණිද මගෙ
ආත්මය අරා
තෙදිනකින් යළි ඇවිත් ඔබ
කැටුව යන පිණිස
ගිවිසගෙන සමුදුනිමි
කඩිනමින් .
සැනින් පිටවී යන්න හදිසි ඕනෑකමක්,
හැඟුනාද වහන්වී පළා
යන්නට ඔබෙන්
නොතේරෙයි මට තවම.
ජීවිතය පුරාවට අත්
නොවිඳි, නිරාමිස සතුටකින්
දොවා හද සිඳු පතුළ පිරිතීරි
යන්ට වන
නිදි නොදලද රාත්‍රිය පහන්වෙන තුරාවට
තාත්තා නාභි ගතකර
අපේ පවුල තුළ
අතීතය නව පොතක ලියන්නට
වෙහෙසෙද්දි
ජීවිතේ මුල්වරට, මෙන්ම අවසන් වරට
ජීවිතේ මුල්වරට, මෙන්ම අවසන් වරට
"තාත්තා "කියන ඒ අකුරු තුන
කොයි තරම් මිහිරිදැයි
දැනුණි මට.
අසිරිමත් දවසකට පාවාඩ
එලාගෙන
නව ඉරක් පායලා පැතුම් පිරිවරාගෙන
එදා මහ මඟ දෙපස දුටු
නුදුටු සැමදෙයම
ජීවී අජීවී සියල්ලම “ළගන්නාසුළුය,
ප්‍රිය මනාපය, සොඳුරුය”යි සිතුනි මට.
පස් වණක් ප්‍රීතියෙන් නිමාකළ
පිතෘ ප්‍රේමයේ මිණිකිරුළ
දෛවයේ රළු-පරළු කුරිරුවූ සරදමට
නිමිත්තක්වී යළිත් අහිමිවී
එකම සිහිනයක් තුළ ගිළිහිලා ගිය සෙයකි!සවන් යුග දෙදරවා, නුවන් යුග පුපුරවා
ගිම්හාන දිවාකල වැදුන
අකුණක් ලෙසින්
“තාත්තා මළ පුවත” මා සවන් මත වැකුණි.
ජීවිතේ මුල්වරට, මෙන්ම
අවසන් වරට
"තාත්තා "කියන ඒ අකුරු තුන
කොයි තරම් මිහිරිදැයි දැනෙයි මට.
(06.12.2005)
//ජීවිතේ මුල්වරට, මෙන්ම අවසන් වරට
ReplyDelete"තාත්තා "කියන ඒ අකුරු තුන
කොයි තරම් මිහිරිදැයි දැනෙයි මට// තාත්තලා ගෙන් වෙන්වූ දරුවන්ගේ හද ඉකිබිඳින හඬ... හරිම සංවේදී පද පෙළක්.. ජයවේවා !!!