නිදහස කියන්නෙ කැවුම් කිරිබත් කෑමද?
"ඇත්තටම අපි නිදහස්ද?"
නිදහස සමරන්නට ලැබූ ආරධනාව ලැබූ මොහොතේ සිටම මට
හිතුනේ අපි නිදහස් නැති බවය. අපි නිදහස්ද? අපි
නිදහස්ද? මම මගෙන්ම ඇහුව.
"එන්න නිදහස් උත්සවය සමරන්න. කිරිබත් කෑල්ලක්
කන්න පුළුවන්, කට්ට සම්බලුත් එක්ක. කැවුම්
එහෙමත් කෑව හැකි ". ආරාධනය ලැබුණේ ඒ ආකරයටය.
කැවුම් කිරිබත් කෑම මට තිත්තය. කට්ට සම්බල් කන්ට
තරම් මගේ කටේ අරුචියකුත් නැත.
ප්‍රතිවාදියා පැරැදුනාමත් කන,
හතුරා මැරුණාමත් කන කිරිබත, ලැබිච්ච
කෙංගෙඩියක් නැති නිදහසක් වෙනුවෙනුත් කන්නට ලාංකිකයා සූදානම් ය.
කොයිතරම් අභිමානවත් දවසක්ද February
4 කියන්නෙ. අපිට, ඒ
කියන්නෙ ලංකා වාසීන්ට නිදහස ලැබුණ දවස. ඇත්තටම අපි නිදහස්ද? නිදහස්
නම් ඒ මොන විධියේ නිදහසක්ද?
අපි අධිරාජ්‍යවාදින් ගෙන් ඉගෙන ගත්තේම වැරැදි
දේය, හිස් දේය. කර පින්නගෙන යන්නේද උන්ට එපාවුණ, නැත්නම්
බැහැර කළ දේය. අපි ඒවාට වන්දනාමාන කරමු. යටත්විජිත
භාවය විසින් අපට දායාද කළ බොහෝදේ අතර වටිනාම දේ ලෙස මා දකින්නේ අධ්‍යාපන ක්‍රමයය.
අධ්‍යාපන ක්‍රමය, බාහිර ලෝකය සමඟ යාවීමට බඳින ලද පාලමක් වුවත් ඒ
පාලම ශක්තිමත් වීමට තිබිය යුතු ගුණාංග අප විසින් අතහැර දමා
ඇත. ඒ අතරම යටත් විජිත ක්‍රමය තුළින් හඳුන්වා දුන් සමහර අංගෝපාංග අපි හිස් ආභරණ
ලෙස පාවිච්චි කරන්නට පෙළඹී ඇත. එයින් පෙන්නුම් කරන්නේ අපේ හිස් බව පමණි. නිදහස
ලදිමු. එහෙත් අපි මානසික වහල් භාවයේ ගැලී
සිටිමු.
ඔව් අපිට නිදහස ලැබුණා. බ්‍රිතාන්‍ය
අධිරාජ්‍යය යටත්විජිත භාවයෙන්.1948 පෙබරවාරි 4 වෙනිදා
සිද්ධවුණේ බල හුවමාරුව නිත්‍යානුකූල බවට ලැබුණ සහතිකය
ලැබීමයි. භෞමික ස්වාධීනත්වය ලැබුණ අපි පස්වණක් ප්‍රීතියෙන් ඒ සහතිකය උත්සවාකාරයෙන්
සැමරීම පහු ගිය අවුරුදු හැට අට පුරාම සිදු කළෙමු.
උත්සවය රටේ ප්‍රධාන නගර වලට සීමා වුණා වගේම, නිදහසේ
ප්‍රතිලාභ ගම් දනව් සිසාරා විසිරුණේ නැත. යටත්විජිත සමයේ පැවති රාජ්‍ය සුභසාධන ක්‍රියාවලිය
අඛණ්ඩව පවත්වා ගෙන යාමට නිදහස් ශ්‍රී ලංකාව අපෝසත් වූ අතර දේශීය සංවර්ධන ව්‍යාපෘතීන්
සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමට තරම් දේශීය ආර්ථිකය ශක්තිමත් මට්ටමක නොපැවතින.
යටත්විජිත දායාද වලින් පල ලබාගත හැකි වාණිජ නිර්යාත
ආර්ථික ක්‍රමය, අපේ විදේශ විනිමය ඉපයීම් උච්චාවචනය කෙරෙහි
බෙහෙවින් බලපෑම් කරනු ලැබූ නිසාත්, අපනයන ක්‍රියාදාමය
විදේශ වෙළඳපොල විසින් තීරණයවූ නිසාත් යටත්විජිතයන්ව පැවති
බොහෝ රටවලට මුහුණදීමට සිදුවූ දුෂ්කරතා වල රසය අපටද
අත්දකින්නට ලැබුණි.
නිදහසෙන් පසු අවුරුදු හැට අටක් ගතවී තිබුණද අපේ
යයි කිව හැකි ආර්ථික ක්‍රියාවලියක් සම්පාදනය කර ක්‍රියාත්මක
කරගන්නට අපි අසමත්වී සිටිමු. මේ අසමත්කමට බලපාන ලද ප්‍රධාන සාධකය
වන්නේ අපේ ජාතික දේශපාලනය මෙහෙයවූ නායකයින් අතින් ඉටුවියයුතුව තිබූ වගකීම් සම්භාරය සිතාමතාම
පැහැර හරිනු ලැබීමයි. අපිට සැබෑ ඕනෑකමක් තිබුණානම් ආර්ථිකය ප්‍රතිසංවිධානය
කිරීමේලා දූරදර්ශී සැලස්මක් සකසා ගත යුතුව, නිර්මාණය කර
ගත හැකිව තිබුණි. පවත්නා ක්‍රමයට පැලැස්තර ඇලවීම හැර අන් විකල්පයක් අපේ පාලකයින්ට
නොතිබුණි. එසේ නොවන්නේ, එවන්
දූරදර්ශී දැක්මක් සහිත නායකයෙක් බිහිවීමේ ඉඩකඩ ඇහිරී
තිබීමයි. ඉඩකඩ තිබුණත්
එවන් අවස්ථා දෛවෝපගත අහිමිවීම් ලෙස මඟ හැරුණු බව පමණක් සටහන් කළ යුතුව ඇත.
ස්වාධීන බව ලබාගත් රටට, ගැලපෙන තිරසාර ආර්ථිකයක්, ශක්තිමත්
පරිපාලන රටාවක්, සමස්ත දිවයිනට අදාලවන පරිදි පලදායී අධ්‍යාපන ක්‍රමයක්
අනාගත පරපුරට දායාද කාරන්නට අපෝසත් වන්නේ ඒ නිසාය.
නිදහස් ශ්‍රී ලංකාවේ දේශපාලන බලහුවමාරුව
පක්‍ෂ දෙකක් අත දීර්ග කාලයක් පැතුනද බිම්මට්ටමේ ජනතාවට දේශපාලනය
යනු මැතිවරණ දවසේ තමන් සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම, යුතුකමක්
බවට පත් කර පසුදා පටන් තමන් මෙතෙක් කරගෙන ආ සමාජ ආර්ථික ක්‍රියාදාමයේ දෛනිකව
නිරතවීම මිස, මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය චන්ද පොලෙන්
එහාට වලංගු වුණේ නැත. ජනතා නියෝජිතයින් ලෙස තේරී පත්වන සමාජ කුලකය, වරපරසාදලත්
පන්තිය ලෙසත්, ප්‍රභූන් ලෙසත් සමාජයේ හැමදාමත් ගෞරව
බුහුමානයට පාත්‍රවිය. මහජනතාවගේ ඉරණම තීරණය කරන සර්වබලධාරී දෙවිවරු දේශපාලකයන්
විය. දේශපාලන වශයෙන් නොමේරූ බව, මහජන නියෝජිතයින්ට මෙන්ම
ජනතාවටද එකලෙස පොදු ගති ලක්‍ෂණයක් නිසා ජනතා අවශ්‍යතා ගැන
අවධානය බෙහෙවින් අල්ප වීම කෙරෙහි
බලපෑම් කළ හැකි ප්‍රමාණය බෙහෙවින් සීමිතය.
දේශපාලනයට සම්බන්ධ වීම, ලාංකික
වැඩවසම් ක්‍රමය තුළ පියාගෙන් පුතාට දේපල උරුමය ලැබෙන ආකාරයට, එහෙම
නැත්නම් පරම්පරාගත දේපළක් ලෙස උරුම විය යුතුය යන්න නොලියවුන නීතියක්ව පැවැත එයි.
දේශපාලකයාගෙන් පසු උරුමකරුවෙක් ලෙස බිරිඳට, නැතිනම් පවුලේ
ඥාතීන්ට අයිතිවාසිකම් ඉල්ලා සිටිය හැකි විය. සාමාන්‍ය
පවුලකින් පැවත එන උගත් තරුණ පරපුර කළඑළි බැසීමේ ඉඩකඩ
බෙහෙවින් අවම මට්ටමක පැවැතිනි. ඒ වෙනුවට, නූගතුන්, චන්ඩින්
දේශපාලනයට අවතීර්ණ වීම බහුලව සිදු විය.
විසිවෙනි සියවස මැද භාගය වනවිට පැවති ක්‍රියාකාරී කාන්තා දේශපාලන සහබාගිත්වය
අවම වූ අතර නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ මෘග දේශපාලන ක්‍රියාදාමයක් බවට
පරිවර්තනයවිය.එමෙන්ම රාජ්‍යමන්ත්‍රණ සභා ක්‍රමය තුළ පවා කාන්තාවන් භුක්ති විඳි
නියෝජනය වීමේ දේශපාලන අයිතීන් නිදහසෙන් පසු ක්‍රමයෙන් හැකිලෙමින් පවතින බවක්
පෙනෙන්නට ඇත.
ගතවූ දශක හය දෙස ආපසු හැරී බලන විට, කාන්තාව
පාරම්පරික සමාජ රාමුව තුළ කොටු කර තබන්නට, පුරුෂයන්
විසින් ගොනුකරන ලද නිර්ණායකයන් විසින්, කාන්තා නියෝජනය
අවම මට්ටමකට ඇද හෙලන ආකාරය පැහැදිළිව
දෘශ්‍යමාන වෙයි. ආසියානු කළාපයේ, ජපානය හැර
ඉහලම සාක්‍ෂරතා දර්ශකය සහිත ශ්‍රී ලංකාව, පාර්ලිමේන්තුව
ඇතුළු අනෙකුත් ප්‍රාදේශීය දේශපාලන ආයතන වලද කාන්තා නියෝජනය
අවම මට්ටමක තිබේ. සාක්‍ෂරතාව බෙහෙවින් අඩු බංගලාදේශයටත් වඩා පහල දර්ශකයක ශ්‍රී
ලංකා කාන්තා නියෝජනය පැවතීම ඛේද
ජනකය. විවිධ ක්‍ෂේත්‍රවල අධ්‍යාපන විශිෂ්ඨතා සහිත උගත්
කාන්තාවන් සිටින ශ්‍රී ලංකාවේ, පුරුෂෝත්තම
සමාජ ආකල්ප විසින් නිර්දය ලෙස කාන්තාව සතු
දේශපාලන අයිතිය පැහැර ගෙන තිබේ.
1948 දී අප විසින් අධිරාජ්‍යවාදින්
ගෙන් දේශපාලන නිදහස, එනම් ස්වයම්පාලන අයිතිය ලැබුවා විය හැකිය. නමුත්
ඊට සමගාමිව දේශීය ආර්ථික ප්‍රතිපත්තියක් සැලසුම් කොට ජාත්‍යන්තරය සමඟ සුසංයෝග වීම
සඳහා විධිමත් පිළිවෙළක් සකස් කර හැඩගස්වා ගැනීමට අප සවිඥානික වීද? රාජ්‍යත්වය
සහ වැඩවසම් සමාජ රටාව විසින් නිර්මාණය කරන ලද සමාජ ව්‍යුහය, යටත්
විජිතයක් ලෙස අප ලද අත්දැකීම් සමඟ ඒකාබධ කිරීමේ නිර්ණායකයන් අප සතුව නොතිබිණි. එනිසා
වාණිජ නිර්යාත ආර්ථික ක්‍රමය තුළ, දුප්පත්කම
තුරන් කිරීමේ, නූගත්කම තුරන්
කිරීමේ සැබෑ ඕනෑකමක් හෝ ඒ සඳහා උපයෝගී කරගතයුතු මිණුම් දඬු පිළිබඳ නිශ්චිත
අවබෝධයක් පාලකයින් සතු නොවුණි. ජාතික
දේශපාලනය මෙහෙයවන පිරිස හැමදාමත් අයත්වූයේ සමාජයේ ඉහල ස්තරයේ වැජඹෙන පිරිස්
වලටය. ඔවුන් දුප්පත්කමේ රුදුරුබව දැන සිටියේ නැත. මන්ද, ඒ
ඔවුන් ගේ පන්තියේ අත්දැකීම් නොවුණ හෙයිනි. අනික් අතට නොදන්න අඩවියට සමීප වීමේ
දැනුම අවබෝධය ඔවුන් සතු නොවුණ බැවිණි.
දුප්පත් කමෙන් ජනතාව නිදහස් කරනවාට වඩා ඔවුන් ඒ ඒ
තන්හි ස්ථානගත කර තමන් වරප්‍රසාද භුක්ති විඳීමේ අභිප්‍රාය දේශපාලකයින්
දිගින් දිගටම පවත්වා ගැනීමට නීතිමය රැකවරණ උපයෝගී කරගනු ලබයි. එදිනෙදා බඩවියත රැක
ගැනීමට එහා යමක් නොදත් දුප්පත්, ඒ නිසාම නූගත් ජන කොටස් වලට ප්‍රවේණිදාස
භාවයෙන් එපිට යමක් සිතන්නට තරම් අවකාශයක් නොතිබිණි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත්
විජිතයක් වී සිටීමේ පල නෙළා ගන්නට සාමාන්‍ය ජනතාවට තිබූ ඉඩ කඩ අසුරන්නටත්, විශේෂයෙන්
අධ්‍යාපන ක්‍ෂේත්‍රයේදී භාෂා මාධ්‍ය සැලකීමේදී; වරප්රසාදලත්
පන්තියේ ප්‍රගමනය සඳහා අවශ්‍ය මං පෙත් එළි පෙහෙළි
කරගන්නටත් දේශපාලනයට සම්බන්ධ, උගත්, ධනවත්
සුළුතරය යුහුසුළු වූවා මිස සැබෑ අවශ්‍යතාවය හදුනා ගෙන ඊට අනුගතවීමේ ප්‍රවණතාවක්
ඇති නොවුණි.
නූගත්කම විසින් මිනිසුන් දැනුමෙන්
අවබෝධයෙන් තොර ජනකොට්ඨාශයක් බවට පත් කරන නිසා කපටි දේශපාලකයින්ට ඔවුන් රැවටීමට
ඉතාමත් පහසුය. නිදහසෙන් පසු මුල් දශක වල තත්වයටම අද චන්දදායකයා ආපසු
ගමන් කර තිබෙන අතරම, නූගත් මිනිසුන්
දේශපාකයින් ගේ ගොදුරු බවට පත්වී තිබීම ඉතාමත් ඛේද ජනකයි. දේශපාලන
තීන්දු තීරණ ගැනීමේදී බුධිමත් ජනතාව තර්කානුකූලව
හැසිරෙන නමුත් නූගත් මිනිසුන් බොහෝවිට දේශපාලන හැසිරීම් රටාව තුළ රවටන්නට පහසුයි. ඒ
නිසා දේශපාලකයින් ගේ පරිවාර සෙනඟ බවට් පත්වී තිබෙන්නේ එවැනි පිරිස්වලට ප්‍රජාතන්ත්‍රවාදී
මූලධර්ම ගැන අවබෝධයක් ලබා දීම බෙහෙවින් අසීරුව පවතී. නිදහසේ
උපන් මිනිසෙකුට, පරම්පරාවෙන් ආගම, පරම්පරාවෙන්
දේශපාලනය උරුම වීමේ ප්‍රතිවිපාකය එකහා සමාන හානියක් කරන බව කරනු ලබනවා නොවේද?
ඔවුන්ට ජීවිතය පිළිබඳ ප්‍රමිතියක්, දැනුමක්
අවබෝධයක් නැති නිසා දේශපාලකයින් ගේ පොරොන්දු වලින් පරිභාහිරව යමක් සිතන්නට පුළුවන්
කමක් නැහැ. අසංවිධිත නොමේරූ හැඟීම් වලට වහල්වී දේශපාලනිකවද ඔවුන් වහල් භාවයට පත්
වෙනව. ජන වාර්ගික, ආගම්, කුලය පදනම්
කරගත් පටු අදහස් වලින් පොළඹවන ලදුව, මානව වර්ගයා
පිළිබඳ ප්‍රාථමික යුගයේ ජීවත් වන ජන කොටසක් වශයෙන් ඔවුන් සමාජ කියාකාරකම් වලදී
හැසිරෙනවා. පටු දේශපාලන අරමුණු පදනම් කරගත් අවස්ථාවාදීන්ට මෙවැනි මිනිසුන් තමන් ගේ
ගොදුරු බවට පත් කර ගන්න පහසුයි කියල මම හිතනව.
පුරා හැට අටවසරක්ම ශ්‍රී ලාංකික ජනප්‍රජාව
දේශපාලකයින් විසින් අත්මාර්ථකාමීව බල ලෝභය අරමුණු කරගත් පරමාර්ථ සඳහා මෙහෙයවා ඇති
අතර, මත්පැන් බෝතලයට කෑම පැකට් එකට දුප්පත් මිනිසුන්
ගේ චන්දය සාපරාධී ලෙස වංචනිකව උදුරාගෙන තිබෙනවා. දේශපාලකයන්
මහජන චන්දයෙන් තේරී පත්වූ ජනතා සේවකයින් බව අමතක කර, ඔවුන්
සුපිරි පැළන්තියක් ලෙස පෙනීසිටීමට මහත්
ගිජුකමක් දක්වනව. ඔවුන් ගේ පවුල් වලට හිත මිත්‍රාදීන්ට වරප්‍රසාද
සැප සම්පත් භුක්ති විඳීමේදී, පොදු දේපල සහ ජාතික ධනය මංකොල්ල
කෑමට ඇබ්බැහි වීම දෙස බලන විට ප්‍රංශයේ ලුවී පාලන සමයේ
පැවැතියාටත් එහා ගිය නින්දනීය, නිහීන පිළිවෙතක් අනුගමනය
කරන්නටනොපැකිල පෙළඹී ඇති බව පෙනෙන්නට තිබේ.
දේශපාලකයින් විසින් හැට අට අවුරුද්දක්ම පෝෂණය කර
ඇත්තේ, සාමාන්‍ය ජනතාව භේද භින්න කර එකිනෙකා උනුන්
කෙරෙහි උසිගන්වා ජන සමාජය භේද භින්න කිරීමය. එදිනෙදා වේල බෙදා
හදාගෙන ගතකළ සමාජ සහජීවනය විනාශ කරන දේශපාලන වස විස පොවා
එදිරි වාදුකම් ඇතිකොට පොදු ජන ජීවිතය බිඳ දැමීමය. සාමාන්‍ය ජනතාව දැනුවත් කළ යුතු
වන්නේ මේ ගැනය. දුකට සැපට එකට හිටිය ගමේ පළාතේ මිනිසුන්
දේශපාලනිකව පිල්බෙදී ගහ මරා ගනිද්දි, දේශපාලකයා
උනන්දු වුණේ මහජන මුදලින් නඩත්තු වීමට අවශ්‍ය මාර්ග ඉදිකර
ගැනීමය. තමන් ගේ කඳ බඩ තරකරගැනීමේ අරමුණු වලට ප්‍රමුඛත්වය
දීමය.
යටත් විජිත යුගයේදී අපට උරුමවූ දීන හීන ගැති භාවය, නිදහස්
ජාතියක් වශයෙන් අද අපේ ආවේණික අංගයක් බවට පත් වී තිබේ. වත්මන්
සමාජය දෙස බලන විට අපි යටත්විජිතවාදයට ගොදුරුවන යුගයටත් එහා යුගයකට අයත් ජන
කොට්ඨාශයක් බවට පරිවර්තනය වෙමින් පවතින බව ප්‍රත්‍යක්‍ෂ වෙයි. වර්තමාන
ශ්‍රී ලංකාව සහ ලාංකික ජනයා මිත්‍යාව පසුපස
හඹා යමින් දඩයම් යුගයේ වනචාරී ගෝත්‍රික ඇවැතුම් පැවතුම් වලට අනුගත වෙමින් සිටින
දූපත් වාසීන් පිරිසක් බවට පත්ව ඇත. මිත්‍යාව සහ ආගමික අන්ධභාවය, සමස්ත
සමාජයම ගිලගෙන සිටී. ජීවකයෙක් පහලවීවත් සුව කළ නොහැකිතරමට මන්දබුද්ධික නායකයින්
රෝගාතුරවී ඇත. ඔවුන් අනුගමනය කරන මුග්ධ ජනයා බේරා ගන්නට තරම් ප්‍රඥාවන්ත
පාලකයෙක් පහල වන ලකුණකුදු නැත.
රටේ ජනතාව සෞඛ්‍ය සම්පන්න ජන ප්‍රජාවක් කිරීමේ
වගකීම, ජනතා නියෝජන ක්‍රමය තුළ රජයේ, නැත්නම්
පාලකයින් ගේ වගකීම සහ යුතුකම වුවද, ඔවුන් ඒ
වගකීම සැහැසි ලෙස පැහැර හැර ඇත. දිගින් දිගටම ජනතාව රවටා ජනතාවගෙ
ඇස් වලට වැලි ගසා ඇත. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංයුතිය දෙස බලන විට මේතරම්
නූගතුන් පිරිසක් රටක මහජන නියෝජිතයින් ලෙස පත්කර ගෙන තිබෙන රටක් මේ ලෝකයේ
කොතැනකවත් නැති තරම්ය.
පවතින ක්‍රමය තුළ, ප්‍රජාතන්ත්‍රවාදී
දේශපාලන ක්‍රමයක් යනු කුමක්දැයි නොදත් ජනතාවක්, දාමරිකයන්, නූගතුන්, පල්
හොරුන්, සල්ලාලයින්, වංවනිකයින්, ගෙන්
සමන්විත දූෂිතයින් පිරිසක් තමන්ව පාලනය කරන්නට තෝරා
ගැනීමම දේශපාලන නිදහස යන සංකල්පයේ අරුත පුරා දශකහතකට ආසන්න කාලයක් අවභාවිතා කොට
ඇති බවට ඇති ලැජ්ජා සහගත උදාහරණය නොවේද? ඉතින් අපි
නිදහස ලැබුණායයි උදම් අනන්නේ කොහොමද? අපේ නිදහස
අප විසින්ම වළදමා ඇත. 1848 පෙබරවාරි හතර වෙනිදා අප ලත් නිදහස
යනුවෙන් අප නිර්වචනය කරන්නේ, හත්මුතු පරම්පරාවකට ගොඩ එන්නට
බැරිතරම් ණය බරක් ඉතිරිකර, උපන් බිමේ සාරය උරාබී වැඩුන පරපෝෂිත ජීවීන් රැළක්
මේ පුංචි දිවයිනේ බිහිවී තිබීමද?
ලැබූ නිදහස අර්ථවත් වන්නේ, පැවති
ක්‍රමයට වඩා ප්‍රශස්ත ප්‍රතිලාභ අත්පත් කරගන්නට අපට හැකි වූවානම් පමණි. නිදහසෙන්
පසු රට තුළ වර්ධනය වී ඇත්තේ, භුමියට දැරිය නොහැකි තරම් ප්‍රමාණයක, නොසැලකිලිමත්
ලෙස බෝකරන ලද ජනගහනයක් නම්. එවන්
ජන රාශියකගේ මූලික අවශ්‍යතාවත් සපුරාලන්නට නොහැකි අසංවිධිත, සැලසුම්
නොකළ ආර්ථික ක්‍රමයක් නම්. රටකට ඔරොත්තු
නොදෙන තරමේ ණය බර,සේවා වියුක්තිය, මන්ද පෝෂණය
නම්, මේතරම් උගතුන් බිහිවුණ රටක පුර වැසියන් වන අප නිදහස
අර්ථවත් ලෙස පරිහරණය කර තිබේදයි මොහොතක් සිතිය යුතුව ඇත.
දේශපාලකයින් අපට උරුම කර දුන්නේ ජාති ආගම්, සංස්කෘතීන්
අතර වෛරය වපුරා, එකිනෙකා භේද භින්න කර දැමූ සමාජයක් නම්.
නිදහසෙන් පසු හැට අට වසරක උරුමය ලෙස අපට ඉතිරිව
ඇත්තේ මානුෂීය ගුණගරුක සමාජයක් වෙනුවට, පිරිහුණ බිඳ
වැටුන මානව සහ සම්බන්ධතා වැරැහැලි කරන ලද ගරා වැටුන
සමාජ සංස්ථාවක් නම්, ඉතින් අපි
නිදහස්ද?
මම නිදහස් සමරන්නට නොයෑමට තීරණය කළෙමි.
නිදහස කියන්නෙ කැවුම් කිරිබත් කෑමද?