Friday, 3 February 2017

පාවෙන පීරිසි


කෑම් මේසෙට යාව​
රතු සිමෙන්තිය පුරහම​
සුදු හුණු බිත්ති මත
පාට හුණු කූරෙන්
පුංචි සන්දියේ මං
කුරුටු ගෑ නොයෙක ​ සිතුවම්
අදත් ඉකිබිඳිනවා ඉඳ හිට මගේ හිත තුළ​

එක් සති අන්තයක​
මොන්ටිසෝරියෙ නොගිය දවසක​ ​
සුදු හුණු බිත්තියේ
මා ඇන්ද "චිත්තල​" මත​
අපූරුම චිත්ලයක් ඇඳලා!

ලීක්ස් සහ රම්පේ සමඟ කරපිංචා නැටි
ගස් වල කඳන් හා
පුංචි අතු රිකිලි සේ ඇලිලා,
පළාකොළ මැල්ලුම​
ගහේ අතුපතර සේ විසිර ඇත.
බීට්රූට් වැංජන​ පිපුණ රතු මල්වගෙයි ඒ මත​
කහ රතු තැඹිලි පැහැ
මිදී ඇත සුදු පැහැති පසුබිම​

කවුද අම්මේ මේ, 
මේ තරම් ලස්සන චිත්ල ඇන්දේ?”
අසමි මම.

නිල් පැහැ කොපුල් තල​
වහන් වෙන්නට හරවා
දෑස් ඉදිමුණු අම්මා 
සිප ගත්තාය මා හිස.

කුරු මිට්ටෝ ඇවිත්
පියාඹන පීරිසියෙන්
දේදුනු පින්සලෙන්
අඳින්නට ඇති "චිත්ල" රහසින්,
හැලෙයි කිරි ජොග්ගුව​
මගෙ මැණික හනිකට ගිහින්
ඉඳගන්න බංකුව උඩ,
කිරි ඉහිරුනෝතින්
කැතවේවි මේ ඔක්කොම .

තාත්තට නෑහෙන්න​
මගෙ කණට කොඳුරා
හෙමින් කීවාය අම්මා.

උදේ තේ මේසෙට​ 
තාත්තා එන්නට පෙර​
බිත්ති සුදු පැහැවෙලා! 
සිමෙන්තිය සේදිලා!

දීසි තුන හතරක විසිරුණ​ කටු එකතු කර
පෑළ දොර අද්දර​ ඉකිබිඳින අම්මා දැක
අසමි මම ආයෙත්,
කුරුමිට්ටෝ ඇවිත් ඇඳපු චිත්තල මකල දැම්මද​​?
ආපු පීරිසි ටික​ කුඩුවුණේ  බිත්තියේ වැදිලද?”

හිනාවක් නැති වත් 
දිළිසුනා අම්මාගෙ යුගනෙත්
පිළිතුරක් නොලදත් 
ගැහැණුකම ඉකිබිඳියි අදටත්
හුණුකූරු ගිළිහී
පෑන පැන්සල අතට ආ මුත්
සිදුවුණ දේ අදත්
ලියන්නට සිතට නෑ දිරියක්


මල්ලිකා එම්. බණ්ඩාර​ 

23. 01. 2017

No comments:

Post a Comment