Thursday, 2 February 2017

සසර පුරුද්ද

වළාවක් වී නුදුරු අහසේ
නීල තුගු කඳු වළල්ලේ
දැවටෙනා මිහිදුම් සළුව මම
සිහින් පවනැල්ලක එතී එන​

ප්‍රේමයේ පණිවුඩය අමුණා
සුසුම් ලන මිහි මඬල වෙත එන​
ගුවන් පාලම සදමි වැහිබර 
අහස සරහන ඉන්ද්‍රචාපෙන්

මුහුදු වෙරළක හුදකලාවී
බිඳුන බෙලිකටු ඇහිඳිනා
ශෝකයේ ගිනිසිළු නිවන්නට​
ඔබේ මුවගින් ගිලිහෙනා
තනුව වී ඔබ​ ළඟ හිඳිමි මම​ 
විරහ ගීයක මිමිණෙනා

සිතිජ ඉම හිරු ගිලෙන මොහොතක​
කිමිද ගත සිත සනහනා
සිහිල් රළ පතරක්ව වැතිරෙමි
දෙපා යුග ළඟ විසිරෙනා

සතර දිග ගනදුර ගලන සඳ
වැතිර රත් හිරු රැස් කැදැල්ලක ​
තවත් මොහොතක් පමා වෙන්නම්
​​නෙත කඳුළු බිඳු වියැකෙනා තුරු

තරු කැකුළු පැස​​ මුවවිටින් බැස​
සැලෙන තුරු නිල් අහස් වියනට​
හිඳිමි ඉරබට තරුවවී සෙද​
දමා යන්නට දුකයි තනියම
සසර පුරහා ආ පුරුද්දට​ 


මල්ලිකා එම්. බණ්ඩාර​

29.01.2017

No comments:

Post a Comment