Wednesday, 31 January 2018

මාල ගිරවී 13 වන කොටස​


මල්ලිකා එම් බණ්ඩාර ලියන්නීය​.

 මුළු ගෙදරම දැඩි නිහඬබවක කිඳා බැස ඇතිවාක් මෙනි. කවුරුවත් ශබ්දනගා කතා කරන්නේ නැත​.  ඉඳහිට කොතනකින් හෝ කසු කුසුවක් මතුවී සැනෙකින් තුනීවී යයි. මුළු ගෙදරම මහ අබිරහස් අඩවියක් වගේ හරියට​. අම්මා නං හරියටම ගිනියම්වුණ යකඩ තහඩුවක් ගානට පදම් වෙලාය​. මූණට අබ අහුරක් දැම්මොත් සට පට ගා පිපිරෙනු ඇත​.

"ඇයි මේ හැමෝම පුංඹාගත්ත ගමන්?"

නංගී ඉස්කෝලේ ඉඳලා ගෙදර ආවනම ඇහුවේ මගෙනි.

"මාත් දැන්නෙ ආවෙ".

"වරුණ අයියා ඇවිල්ලා නේද​?"

"මං දන්නෙ නෑ".

 "පුංචි අක්කා අඬනව​. අම්මා ගොළුවෙලා. තාත්තා ගල්වෙලා. ඔයාට මොකුත් වෙලා නැද්ද​?"


නංගී ඇහුවේ මහත් තෝන්තුවා ගතියකිනිනංගීට දෙන්නට තරම් ගැලපෙන උත්තරයක් සොයා ගැනීමට මම වට පිට බැලුවෙමි. අපි දෙන්නම ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ. කියන්නට දේ ඇතත් කියාගත නොහැකිව මම ළතැවුණෙමි. නංගී මේ අගක් මුලක් සොයාගත නොහැකි වැඩිහිටියන්ට පමණක් සීමාවූ ගැටළුවේ දිග පළල මැනගත හැකි මානයක් සොයගත නොහැකිව තැවුනාය​.


බැරිම තැන මම අම්මා ඉන්න ඉසව්වට කිට්ටු කරන්නට ඉටා ගතිමි.

අම්මා මා දෙස බලා හිඳ ඉවත බලාගත්තාය​.

අම්මා මොකද මේ ගෙදර හැමෝටම හැදිලා තියෙන ලෙඩේ?


මෙතෙක් වෙලා අම්මා තුළ කැකෑරෙමින් තිබු උණුවතුර බොයිලේරුව​ කරාමය ඇර​ ගලායන්නට සැලැස්වූවාය​.
ඕං අර ඉංජිනේරුවාගෙ රස්සාව නැති කරගෙනලු. කිතුල් මලේ වැත්ත කපන්ට එනව වගේ හැමදාම කුරගානව මෙතෙන්ට​. අපි කොහොමද රටේ ලෝකේ මිනිස්සුන්ට මූණ දෙන්නෙ. බැරිම තැන මං ඇහුව මේක තීන්දුවක් කරන්ට ඕනනේද කියල​. එතකොට කියපි " මං රස්සාවෙන් අස්වුණා රට යන්ට​. දැන් මෙහෙ රස්සාවත් නෑ. එහෙ රස්සාවට යන්ටත් විදියක් නෑ වීසා අනුමත කරලා නෑ” කියලා”.


"අයියෝ හෙමින් හෙමින්!".
"හෙමින්? මේක මගෙ ගෙදර​. ඇයි හෙමින් කතා කරන්නෙ?"
"රටටම ඇහෙනව". 
මම තරමක් මෘදු සවරයෙන් කීවෙමි. 
එවිට අම්මා මදක් සන්සුන් වූවාය​.

යමක් තේරුම් ගන්නට නැත්නම්  කරුණු කාරණා තෝරා බේරා ගැනීමට නම්, අපේ ගෙදර අයගෙන් පතල කණිනවා වගේ හාර හාරා ඇසිය යුතුව ඇත​. එහෙම හරිමේ අලකලංචියේ අග මුල සොයන්නට​ අම්මාගේ කතාවෙන් යාන්තම් ප්‍රවේශයක් ලැබිණි.

දැන් සති කීපයයක්ම වරුණ අයියා අපේ ගෙදර බව මට මතක් වුණේ එවිටය​ආව ගමන් ආපහු ගියේ නැත​. අද පුංචි අක්කාත් වැඩට ගිහින් නැත​. වරුණ අයියා ගෙදර ඉන්න නිසා අක්කාත් ගෙදර නතරවෙලා.

 මං හිතන විදියට අම්මා හොඳටම දෙහි කපන්නට ඇත​. ජනක කීවා හරිය​. වරුණ ඉංජිනේරුවෙකු බව කියන්නේ බොරුවටය. රස්සාවක් නැතුව ඉබාගතේ යන පල්හොරෙකි.


"මේ කාලකන්නි එකී මේ පල් හොරෙකුට අහුවෙලා". අම්මාගෙ හඬ වෙවුලුම් කන ස්වරූපයකි.


පුංචි අක්කා ගැන මගේ හිත හඬා වැටෙන්නට ආසන්නය​. ඒත් යළිත් නිවැරැදි කරන්නට බැරි තරම් ඇගේ ජීවිතය ගරාවැටී ඇතයි​ මම අනුමාන කළෙමිපුංචි අක්කා දුක් විඳිනවා  දකින්නට වගේම සත්‍යය එළිදරව් කරන්නටද අසීරුය​.  වරුණ අයියා පිළිබඳව මා දන්නා තොරතුරු කිවයූතුයැයි මගේ හිත කියන මුත් ඇවිලෙන ගින්නට පිදුරු දමන්නට පුළුවන් කමක්ද නැත​. වරුණ විසින් ඔහුගේ ජීවිතය පිළිබඳව නොහොබිනා ආකාරයේ රහස්‍යතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ​ ඒ අපුල දනවන​ පැතිකඩ​ පුංචි අක්කාගෙන් වසන් කර තබා ඇත​.


දෙදෙනෙකු අතර කිසියම් එකඟතාවක් ගොඩ නැඟෙනවිට​ එකිනෙකා පිළිබඳ විශ්වාසයක් සහ අවබෝධයක් තහවුරු විය යුතුයයි මම හඟිමි. ඒ වගේම එකිනෙකාගේ පෞද්ගලිකත්වයද සුරක්ශිත වීම වැදගත්‍ ය​. අනික් අතට​ හැම රහසක්ම අනිකාට කිවයුතුද​?


මම මොහොතක් නිහඬව මගේ ඇතුළාන්තයට සවන් දුනිමි.


ප්‍රේමය එකිනෙකාගේ නිදහස සීමාකරන සාධකයක් නොවිය යුතුය. මනුස්සයන් දෙදෙනෙකු අතරේ තිබියයුතු විශ්වාස කටයුතු බවට ඉන් සිදුවන්නේ හානියක් යැයි මම නොයෙක්වර සිතුවෙමි.  එකිනෙකා අභිබවමින් ගොඩනගා ගන්නට අදහස් කරන සහසම්බන්ධතාව තුළින් ප්‍රේමයේ යතාභූතබව පිළිබිඹු වන්නේදැයි යන්න පිළිබඳව මා තුළ පැවතියේ විජිගීසාවකි. පෞද්ගලික ජීවිතයේ කුදු මහත් තීරණ ගැනීමේදී  කිසියම් හෝ නිදහසක් මනුස්සයෙකුට හිමිවිය යුතුය​. හැම ඉස්පිල්ලම පාපිල්ලම අනිකාගේ කැමත්ත අනුව වෙනස් කරන්නට සිදුවීමෙන් ගිළිහෙන්නේ ප්‍රේමයේ උත්තරීතර නිදහස නොවේද​එකෙකු අනෙකාගේ අණසකට යටත්වීම යනුඑකිනෙකා ව්‍යාජ ලෙස අවනත වීමක් පෙන්වන අතර​ ඊට හාත්පසින්ම වෙනස් කැමත්තකට ඉඩදීමනිර්ව්‍යාජත්වය බිලිදීමක් යයි මම සිතමි. 

මේ අදහස් මගේමද මා කියවූ පොතකින් අහුලාගත් ඒවාදැයි තෝරා බේරාගන්නට මා අසමත්‍ ය​. කොහොම නමුත්මගේ අභ්‍යන්තරය තර්ක විතර්ක කරන්නේ ප්‍රේමය අව්‍යාජ වියයුතු නොවේද​ යන පදනමේ සිටය​ඒත් පුංචි අක්කාත් වරුණ අයියත්  අතර උද්ගතව ඇති තත්වය සාමාන්‍ය කරණයට ලක් කිරීමට මම මැලිවෙමි. එහි කිසියම් වංක භාවයක් පවතීඅනික් අතට හිතාමතාම වහංගු කිරීමක් ඇතැයි සිතන්නට ඕනෑවටත් වැඩිය කරුණු කාරණා පවතී.




මීළඟ කොටස නුදුරේදීම​...

Tuesday, 23 January 2018

පස ඇටය​

අහෝ ගැහැණිය​!
සරණ ගිය හෝ නොගිය
නුඹ එදත් අසරණයි
නුඹ අදත් අසරණයි!

දෙපා බැඳි රැහැන් පට
දිගු කරන්නට මිසක​ ​
සිපිරිගෙයි කවුළු දොර
අගුළු බිඳ දමන්නට
රැකවලුන් ගෙන් මිදී
දෙපාමත හිඳින්නට ​
හිරු එළිය සඳ කිරණ​
තුරු සෙවන රැඳෙන්නට​
නුඹට වෙර නැති හැඩය​!

චිරන්තන කැඩපතින්
පෙනෙන පිළිබිඹුව මිස​
ඇතුළු ගැබ වැඩ හිඳින
රාජිණිය​ දකින්නට
අණ පණත් සැර වැඩිය​
කුලදෙටු බෙර පදය​
වයන විට පා තියන​
තිරය පිටුපස රඟන​
නිළිය නුඹ අසරණය​

සල්පිලේ අලෙවි වන
​උපන් ගෙයි මිනිස්කම​
දැක දැකත්  එදිරිවී
මුව විවර කළ නොහෙන
දාදු පෙත පුරහාම
විතැන් වන පස ඇටය​
අහෝ ණැනවත් උගත්
නුඹ වුණත් අසරණයි!

මල්ලිකා එම් බණ්ඩාර​

23. 01. 2018





Monday, 22 January 2018

සරණ බන්ධනය

ඇතත් නැතත් ඇතයි හිතන
තව්තිසාවට හෝ අපායට
විවර වෙන​ දොරටුවකි
සරණ බන්ධනය​

​දඩයම් යුගයේදී    
බියෙන් අසරණ  වන​ 
අනාරක්ෂිත​ ගැහණියට සරණ වන
බලකොටුව​ය සරණ බන්ධනය​

නැදි මයිලන් ඇතුළු 
සනුහරේටම පහිඳින්න​ 
නිදහසේ තටු සිඳ
​කුලදෙටු නිකායේ
අණසකට යටත්ව
වහල් මෙහෙයට යන​
සොඳුරු තොටුපොළකි
සරණ බන්ධනය

​“සරණ” යන වචනයම​
ඇගේ අසරණ බවේ
අනියම් සහතිකයක්වූ
ආගමෙන් කුල-ගොතින්
නිලතල සිරිත්විරිතින්
ගැහණිය නම් සොඳුරු සත්ත්වයා
යව්දිවි සිපිරිගෙට දක්කා
වියට බැඳ තබන​ වර පට​
සරණ බන්ධනය​

මල්ලිකා එම් බණ්ඩාර​

16.10.2017




Tuesday, 16 January 2018

දුවෙක් උපන් දා

සුබ උපන් දිනක් වේවා!


සරාසඳ නුඹ සදා දිදුළන​ ​
මගේ ජීවිතයේ
පුරා මනදොල උදාවූසඳ​​
දුරුතු තරු එළියේ
රා සෙනෙහස
සුවඳවත් කර​
මගේ සිත් කුටියේ
පිපී හිනහුණි සහස් මල් වැහි
වහින හිමිදිරියේ
රිදුම් දෙන සිත නිවා සනහන​ ​
සැළෙන කිංකිණියේ
කොකුම් අංජන මනෙත තවරන​
මගේ සඳවතියේ
පිරිවරා තරු රැස​ විරාජිත
නීල  අම්බරයේ
අරා වැජඹෙන්
සුවහසක් හද​ දුලා පෙම්‍බරියේ



 මල්ලිකා එම් බණ්ඩාර


16 . 01. 2018


Sunday, 14 January 2018

භක්තියේ නිරුවත​

සැඩහිරු කිරණ වැද​
නිරුවත් උඩුකයේ
දහදිය මුගුරු උල්පත්ව​ වෑහෙද්දි 
ඉඟටි ලණුවේ රැඳුන​ අමුඩ කෙටියත්
උල්හෙල්ලුවා වගේ පෙඟෙන්නට​

ගල්කටුව සුමට ලෙස
තට්ටු කර ​ සුරුවමට
දෙකන්සෙන් ගලන​ දා ලවණ රස දැනෙද්දී
කොයිතරම් කාලයක් ගත කරන්නට ඇද්ද​
මෙහෙව් හිටිපිළිමක් නෙළන්නට​ ​
කලාවැව ඉහත්තේ හුදකලා වන​පෙතේ

කාලයාගේ ඇවෑමෙන් ගල්කුළ ඉදිරියෙන්
නැඟීසිටි බුදුරුව​ නොබිනුහ වදනක්
අපරිමිත භක්තියෙන් මහත් සංයමයෙන්
තමන් මැව් ගල්වඩු, බරණ​ට​
උඩුකය නොවැසීම අවමානෙකැයි තමනට​ 

බතික් සරමට උඩින්  
"මේස් බැනියමක් හැඳ​
පුදබිමට පැමිණීම​ සෙල් රුවට නිගාවකි" 

බුදුන් අනුදත් බණ​ කාසියේ වාසියට හරවා
බුදුන් පිළිකෙව් කළ බමුණු මත හිස පුරවා   
එවෙහෙර වැඩවසන
යතිවර තෙද බල'ති
බැතිමතුන් හඹායති 
අනඥා පනවති
නිවන් මඟ අවුරති

හිත මිස ගතද වත​
නිවන් දොර අගුළු ලන්නේ නැත​


මල්ලිකා එම් බණ්ඩාර​

08. 01. 2018

Monday, 8 January 2018

Truth and Reality


I found a mirror
I found the ugliness of my face
The face was beautiful
thanks to the makeup done by the beautician
Under the makeup 
there was a dirty ugly smelly skin
It brought uneasiness to my mind
I have to peel the skin behind the surface.
Behind the surface 
how beautiful is the truth and reality?

Mallika M Bandara
08.01. 2018



Saturday, 6 January 2018

වැහැපන් මල් වරුසා


ඔය තරම් මුදු බවින් නුඹෙ දූව අමතනා 
නුඹ මටත් ඇමතුවා නෙක මියුරු වදනිනා
තුරුණු සෙනෙහස පුදා ප්‍රේමයේ මලසුනා
දේවදාසියකවූ  ඒ යුගය මියැදුනා  

වස්සාන කාලයේ අනෝරා වැහි අකුණු
කුණාටුව හමා විත් ලෝතලය දැදුරු වුණු
සවන් පත් අගුළුලා දරා ගන්නට නොහුණු
කොහිද මුව රැඳි වදන් වැලිකතර මල්පිපුණු?

කසුන් එළි නිවී ගොස් නීල දෙනුවන් ඉවුරු 
සුසුම් වැල් මාරුතය බිඳින පදනම් පවුරු 
දුරස්වී කළපුවෙන් පහුර ඇදෙනා අයුරු
බලා නිහඬව ඉන්න​ තරම් නුඹ ඇයි කුරිරු?

සාගරය සේ ගැඹුරු එමෙන් බියකරු සොඳුරු
හැකිද තේරුම් ගන්න ගැහැණියක හද මැදුරු
එඬේරෙකු නොවී මල්පිපුණ උයනක රුසිරු
උයන්පල්ලෙකුව අමතන්න දවසක​ නොදුරු

මල්ලිකා එම් බණ්ඩාර

06. 01. 2018



Tuesday, 2 January 2018

Rotten love


You said you love me forever
But now you are an iron rod, an iceberg
What happened to the sweetness  
once I have led to craziness
the warmth of love,
 “You have to love me”
I asked looking at your face
 Diving in the pool of love of your eyes
“Everything has changed” 
looking at the empty vast sky
you said, "constant change made me anew
in  the impermanent world.
"Can love be exist unchanged?"
Thousands of thousands thunder bolts
 thrown on to my head.
As the any lover on this earth,
I loved you,
may be more than that
I loved you.
But the love doesn’t exist
Everything is impermanent !

Mallika M. Bandara

01.   01. 2018

Monday, 1 January 2018

තන්තුව

ටික දිනකට ඉහත සිට මට කිසියම් ආගන්තුක බවක් දැනෙන්නට පටන් ගෙන ඇත​. මහ සෙනඟක් මැද වුවද මට තනි දැන්නෙනේ ඒ නිසාවෙනි. මට මිතුරු මිතුරියන් යයි කිවහැකි කිසිම මනුෂ්‍යයෙකු මේ දීර්ඝ ජීවන ගමනේ දී මුණ ගැසී නැත​. සමහරු මට කීවෙ "තනි අලියා" කියලාය​. ඒ මගේ එකලාව ජීවත් වීමට ඇති නැමියාව නිසා වන්නට ඇත​. තනිකම තෝරා ගැනීමට බොහෝ හේතු සාධක තිබුණි. ළඟින් ඇසුරු කළ බොහෝ දෙනා විසින් මා ඔවුන් කෙරෙහි තැබූ විශ්වාසය පළුදු කළ බවට ඇති අත්දැකීම් අති බහුලය​. ඒත් ඔවුන්ට නම් වගේ වගක් නැත​. නමුත් මට එය සුළු දෙයක් නොවේ. ඒනිසා මම බොහෝදෙනාගෙන් ඈත්වී සිටින්නට පෙළඹුනා වන්නට ඇත​.

මම මගේ ආත්මයට සවන් දෙන්නට පටන් ගත්තේ මේ තනිකමෙන් මිදෙන්නටය​. ඒ හඬ මා නොඇසූ විරූදේ මට කියා දෙන්නේය​. එක තත්පරයක් තුළ බොහොදේ පෙතිකඩක කළ ළියකමක් මෙන් සිතුවමට නඟන්නේය​. මේ නිසඟ හැකියාව හෝ පුළුවන්කම මා බාලසන්දියේ සිටම අත්දැක ඇත්තෙමි. නිහඬතාවයට සවන් දීම මට හුරුවුණේ අහම්බයක් ලෙස නොවේ. අදත් මම නිහඬතාවට සවන් දෙමින් හිඳිමි

සියළුම ගහකොළ නිශ්චල වෙලා. හීන් හුළඟක්වත් හමන්නේ නැතිතරම්.  හිමිදිරියත් සමඟ අවදිවෙන කුරුල්ලෙකුගෙ හැර වෙනත් කිසිම ශබ්දයක් නෑහෙනගානයි. නිහඬබව ගැඹුරුයි. අර්ථාන්විතයි.  පිරිසිදු වාතයෙන් බිඳක් ඇද ළයමඬල පුරවා ගන්නකොට අවට පරිසරයේ පවතින ගැඹුරුබව හිත ඇතුළට කාන්දු වෙනව වගේ. කෙළිකවට සිනා හඬින් පිරුණ පරිසරය හදිසියේ නිශ්චල වුණේ කොහොමද කියලා හිතාගන්නවත් බැරිතරම්. එක් එක් කාමරයෙන් හීන් හඬීන් කාන්දුවුණ ගීතයක තණුවකට, කිසියම් සංගීත භාණ්ඩයකින් වැයෙන හඬට, ඒ දවස්වල මං කන්දීගෙන හිටියෙ මගේ දරුවන් මියුරු හඬින් මා සමඟ සංවාදයක යෙදෙනවා වගේ. ඒක සමහර වෙලාවට භාවනාවක් වගේ. හිත දැහැන්ගත වෙන්නට පොළඹවනවා. 

අදත් ඒ මතක අතරින් මට "අම්මා"යයි අමතන හඬ ඇහෙනවා වගේ. ඒතරම් මිහිරි හඬක් මධුරසංගීතයක් තවත් කොහේ තියෙයිද​. දරුවො තුන් දෙනා මා ඇමතුවේ තුන් ආකාරයකට​. එකම වචනය විවිධ ආකාරයෙන් උස් පහත් කර ඔවුන් ඇමතුවේ හරියට නැළවිලි ගීයක් වගේ ළයාන්විතව​. ඒක මං අහපු මිහිරිම වදන​. මොනතරම් චිත්තාවේගයකින් වුණත් කෙනෙක් තමන් ගේ අම්මා අමතන්නේ ඉතාමත් මෘදු මොළොක් සෞම්‍ය විදියට​. ඒ සෞම්‍යත්වය මාත් දරුවනුත් අතර එකිනෙකට යාවුණ සිහින් තන්තුවක් වගේ කියලයි මට හිතෙන්නෙ.

මා ළමා වියේදී, අම්මා සෑම පෝයකටම සිල් සමාදන්ව පසු දින පන්සලේ සිට ගෙදර ආවාම, ජාතක පොතෙන් ඇහිඳ ගත් බණ කතාවක් අපිට​ කියා දුන්නාය​. මුහුදු දියට වැටුණ පැටවා බේරාගන්න, තම වලිගයෙන් මුහුදු දිය ඉහින්ට මහන්සි වුණ ලේණියක් පිළිබඳවූ ජාතක කතාවක්,  වරක් මගේ අම්මා මට කියා දුන්නා මතකයි.
"දරු දුක වාවා ගන්ට බැරුව ලේණී, වලිගේ මූදු වතුරට දාලා ගොඩට එනවා, ඇවිත් ගසාදානවා, ආයෙත් මූදු වතුරට වළිගේ දාලා ගොඩට ඇවිත් ගසා දානවා. දරු දුක කියන එක ඒතරම් විසාලයි. දරුවන් වෙනුවෙන් අම්මෙකුට කරන්ට බැරි දෙයක් මේ මිහිපිට ඇත්තෙ නෑ . දරුවො වෙනුවෙන් තමන් ගේ සංසාර ගමන දිග් ගස්සා ගන්න අම්මලා එමටයි". අම්මාගේ හැඟීම් බර හඬ තවමත් මගේ සවන් පත්ලේ රැව් පිළිරැව් දෙනව වගේ.
දරුවොත් එක්ක අම්මෙක් සංසාරගතව බැඳිලා ඉන්නේ හරියට හීන් කෙන්දකින් ගැට ගහලා වගේ
මවකගෙන් දුවකට පරම්පරාවෙන්  පරම්පරාවකට මාතෘත්වය දායාද වෙන්නේ අර සිහින් තන්තුව නිසා කියලා, පහු කාලෙදි මට හිතුනා. මට දැනුනා. එය නොකැඩෙන නොසිඳෙන නොබිඳෙන, ගව් ගණන් දුරට වුණත් ඇදිලා විස්තාරණය වෙන තන්තුවක්, කෙන්දක්, රැහැන් පටක්. ඒක හරියටම අම්මෙකුගේ ළය මඬල තෙරපාගෙන උනන  හැම රසයක්ම, හැම සුවඳක්ම හැම ගුණයක්ම සංමිශ්‍රිත කිරි පීරක් වගේ. මාතෘ දාරක ප්‍රේමය​ බිඳෙන්නෙ නෑ .කැඩෙන්නෙ නෑ, වෙන් කළාට වෙනස් වෙන්නෙ නෑ. වහන් වෙලා හිටියට කොහේහරි ගිහින් හොයාගෙන එන්නට තරම් අම්මාත් දරුවාත් අතර ගොඩ නැඟිලා තියෙනෙ බැඳීම​ ආත්මගතයි.

ඒ බැඳීම​ හරියටම, කළුනික වගේ හොයන්ටම හිතෙන​,  සිතුමිණක්වන්  මාහැඟි වස්තුවක්සේ හිතට දැනෙන, ආත්මයෙන් ආත්මයට ලුහුබැඳ යන භාවගත සාධකයක්. මොන තරම් භෞතික සැප සම්පත් අත්පත් වෙලා තිබුණත් දරුවෙකුට අම්මෙක්ගෙන් ලැබෙන සෙනෙහස කියන චිත්ත ස්වභාවය මිල කළ නොහැකියි. සම කළ නොහැකියි.  කොන්දේසි විරහිතව, අන්‍යෝන්‍ය බැඳීම කරණ කොටගෙන හුවමාරුවන ​වෙනක් කිසිම මනුෂ්‍යයෙකුගෙන් ජනනය නොවන​ භාවමය ප්‍රපංචයක් ඒක​. දරුවන් තුන් දෙනෙකුට අම්මා වීම දරුවන් හය දෙනෙකුට අම්මා වීම තෙක් විස්තාරණය වීමම මතුළ ජනිත කරන්නේ අසීමිතවූ උද්දාමයක්, ප්‍රහර්ශයක්!

සිහින් සීතල සුළං රැල්ලක් දෙණිපෙත දිගේ ඇදී විත් මගේ දැහැන බිඳදමන්නට තතනයි. සුවිසල් ඕක් ගහමුල නිශ්ශබ්දතාව මැද​, හිතේ පිළිසිඳුන ප්‍රේමයේ උත්තරීතර ආශ්වාදය පියාපත් සලන්නට පටන් ගනියි.  හරිතවර්ණ ඕක් පත් සලිත කරමින් මඳ සුළඟක් හමා එනු දැනේ. නිල් අහස් වියන තෙක් විසිර ඇති අතුපතර  සහිත ඕක් ගහේ සිහිල් සෙවනැල්ල සිසාරා ඉගිලෙන මගේ සිතිවිලි ගව් සිය දහස් ගණන් දුරු ඈත අනන්තයට පියඹා යයි. දිගුලේ දැමු එළවැස්සියක මෙන් මඳ නිදහසකට අවකාශ දී මම නිහඬ වෙමි.

මොහොතකින් මම අර නොකැඩෙන​, සිහින් තන්තුව දිගේ සර්කස්කාරියක මෙන් එහා කෙලවරට දිව යමි. මට කෙලවර නොපෙනේ. තුනී මීදුම් තරලයකින් අවකාශය වැසී ඇත​. සිහින් මීදුම් පටලය විනිවිද ඇදී එන ආලෝක පුංජයක් මෙන් මගේ මතකය අවදි වෙයි. මගේ ආත්මය​ එහි ප්‍රභවය  ස්පර්ශකරන්නටත්, එහි ආමෝදය ආග්‍රහණය කරන්නටත් සමත් වෙයි. රස නහර පිනා යන දිව්‍යමය බොජුනක් මෙන් මම ඒ සුවඳ උකහා ගනිමි. එවන් මොහොතකදී මගේ ගතත් සිතත් විනිවිදව එහි ස්පර්ශය මට දැනෙන්නට පටන් ගනියි.

මේ චිත්ත ස්වභාවය කුමක්දැයි විස්තර කරන්නට තරම් මගේ භාෂා කෞශල්‍යය ප්‍රමාණවත් නැතිබව පමණක් මම  දනිමි. හැඟීම් දැනීම් විරහිත ගන්ඳබ්බ සවරූපයකට මා පත්ව ඇතිවාක් මෙනි. තවත් ආත්ම ගණනාවකට අත නොහැර යන්නට තරම්  මම ඒ සුගන්ධයෙන් මත්වෙමි. මගේ සිත ළපැටි පරෙවියෙකුගේ ගෙල යටින් ගිළිහුණ සිහින් පිහාටුවක් මෙන් සැහැල්ලුය​. නිරාමිස ආනන්දයකින් මා එතී වෙලී යයි.

මිහි මත ඇති කිසිම වදනකින් හැඳින්විය නොහැකි තරම් ප්‍රමෝදයකින් මා සිත පිරී ඇත​. සිතිවිලි සමුදාය ​රූපාකාරයෙන් නොවුණත් මම ඈ හැඳින්නෙමි. ඇගේ සුවඳ හැඳින්නෙමි. ඇය මා අසල ගැවසෙන බව මට දැනෙයි. මම ඈ අමතමි. ඇය සිහින් සරින් මුමුණයි, සවණතට නොව සිතටය​. ඒ මගේ අම්මාය​. භවයෙන් භවයට පැතියයුතු මගේ මව ඇයයි. මා සප්ත සාගරයට වැටුණොත් වලිගයෙන් දිය ඉස හෝ මා බේරා ගන්නට ඒකාත්මිකව කැපවුණ එකම මනුෂ්‍යයා ඇයයි. ජීවිතය යනු අම්මාගේ ළයමඬළට යාවුණ ඇසින් දැකිය නොහැකි එහෙත් ආත්මයෙන් පමණක්දැකිය හැකි සිහින් තන්තුවක් යයි මට දැනෙයි. අනන්තවූ අත්භවයන්හි ඒ මාතෘත්වය විසින් ඇයත් මමත් බැඳී සිටිය බව මගේ ආත්මය සාක්‍ෂි දරයි. මගේ හිතේ උපදින  සිතිවිලි සමුදාය, එකම ඇලපිල්ලක්, යන්සයක්, රේපයක් මඟ නොහැරී කියවන්නට සමත් එකම මනුෂ්‍යයා ඇය වුණේ ඒ නිසාවෙනි. ඒ තන්තුව නිසාවෙනි.

මල්ලිකා එම් බණ්ඩාර


1. 1. 2018