Sunday, 14 January 2018

භක්තියේ නිරුවත​

සැඩහිරු කිරණ වැද​
නිරුවත් උඩුකයේ
දහදිය මුගුරු උල්පත්ව​ වෑහෙද්දි 
ඉඟටි ලණුවේ රැඳුන​ අමුඩ කෙටියත්
උල්හෙල්ලුවා වගේ පෙඟෙන්නට​

ගල්කටුව සුමට ලෙස
තට්ටු කර ​ සුරුවමට
දෙකන්සෙන් ගලන​ දා ලවණ රස දැනෙද්දී
කොයිතරම් කාලයක් ගත කරන්නට ඇද්ද​
මෙහෙව් හිටිපිළිමක් නෙළන්නට​ ​
කලාවැව ඉහත්තේ හුදකලා වන​පෙතේ

කාලයාගේ ඇවෑමෙන් ගල්කුළ ඉදිරියෙන්
නැඟීසිටි බුදුරුව​ නොබිනුහ වදනක්
අපරිමිත භක්තියෙන් මහත් සංයමයෙන්
තමන් මැව් ගල්වඩු, බරණ​ට​
උඩුකය නොවැසීම අවමානෙකැයි තමනට​ 

බතික් සරමට උඩින්  
"මේස් බැනියමක් හැඳ​
පුදබිමට පැමිණීම​ සෙල් රුවට නිගාවකි" 

බුදුන් අනුදත් බණ​ කාසියේ වාසියට හරවා
බුදුන් පිළිකෙව් කළ බමුණු මත හිස පුරවා   
එවෙහෙර වැඩවසන
යතිවර තෙද බල'ති
බැතිමතුන් හඹායති 
අනඥා පනවති
නිවන් මඟ අවුරති

හිත මිස ගතද වත​
නිවන් දොර අගුළු ලන්නේ නැත​


මල්ලිකා එම් බණ්ඩාර​

08. 01. 2018

No comments:

Post a Comment