Wednesday, 31 January 2018

මාල ගිරවී 13 වන කොටස​


මල්ලිකා එම් බණ්ඩාර ලියන්නීය​.

 මුළු ගෙදරම දැඩි නිහඬබවක කිඳා බැස ඇතිවාක් මෙනි. කවුරුවත් ශබ්දනගා කතා කරන්නේ නැත​.  ඉඳහිට කොතනකින් හෝ කසු කුසුවක් මතුවී සැනෙකින් තුනීවී යයි. මුළු ගෙදරම මහ අබිරහස් අඩවියක් වගේ හරියට​. අම්මා නං හරියටම ගිනියම්වුණ යකඩ තහඩුවක් ගානට පදම් වෙලාය​. මූණට අබ අහුරක් දැම්මොත් සට පට ගා පිපිරෙනු ඇත​.

"ඇයි මේ හැමෝම පුංඹාගත්ත ගමන්?"

නංගී ඉස්කෝලේ ඉඳලා ගෙදර ආවනම ඇහුවේ මගෙනි.

"මාත් දැන්නෙ ආවෙ".

"වරුණ අයියා ඇවිල්ලා නේද​?"

"මං දන්නෙ නෑ".

 "පුංචි අක්කා අඬනව​. අම්මා ගොළුවෙලා. තාත්තා ගල්වෙලා. ඔයාට මොකුත් වෙලා නැද්ද​?"


නංගී ඇහුවේ මහත් තෝන්තුවා ගතියකිනිනංගීට දෙන්නට තරම් ගැලපෙන උත්තරයක් සොයා ගැනීමට මම වට පිට බැලුවෙමි. අපි දෙන්නම ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ. කියන්නට දේ ඇතත් කියාගත නොහැකිව මම ළතැවුණෙමි. නංගී මේ අගක් මුලක් සොයාගත නොහැකි වැඩිහිටියන්ට පමණක් සීමාවූ ගැටළුවේ දිග පළල මැනගත හැකි මානයක් සොයගත නොහැකිව තැවුනාය​.


බැරිම තැන මම අම්මා ඉන්න ඉසව්වට කිට්ටු කරන්නට ඉටා ගතිමි.

අම්මා මා දෙස බලා හිඳ ඉවත බලාගත්තාය​.

අම්මා මොකද මේ ගෙදර හැමෝටම හැදිලා තියෙන ලෙඩේ?


මෙතෙක් වෙලා අම්මා තුළ කැකෑරෙමින් තිබු උණුවතුර බොයිලේරුව​ කරාමය ඇර​ ගලායන්නට සැලැස්වූවාය​.
ඕං අර ඉංජිනේරුවාගෙ රස්සාව නැති කරගෙනලු. කිතුල් මලේ වැත්ත කපන්ට එනව වගේ හැමදාම කුරගානව මෙතෙන්ට​. අපි කොහොමද රටේ ලෝකේ මිනිස්සුන්ට මූණ දෙන්නෙ. බැරිම තැන මං ඇහුව මේක තීන්දුවක් කරන්ට ඕනනේද කියල​. එතකොට කියපි " මං රස්සාවෙන් අස්වුණා රට යන්ට​. දැන් මෙහෙ රස්සාවත් නෑ. එහෙ රස්සාවට යන්ටත් විදියක් නෑ වීසා අනුමත කරලා නෑ” කියලා”.


"අයියෝ හෙමින් හෙමින්!".
"හෙමින්? මේක මගෙ ගෙදර​. ඇයි හෙමින් කතා කරන්නෙ?"
"රටටම ඇහෙනව". 
මම තරමක් මෘදු සවරයෙන් කීවෙමි. 
එවිට අම්මා මදක් සන්සුන් වූවාය​.

යමක් තේරුම් ගන්නට නැත්නම්  කරුණු කාරණා තෝරා බේරා ගැනීමට නම්, අපේ ගෙදර අයගෙන් පතල කණිනවා වගේ හාර හාරා ඇසිය යුතුව ඇත​. එහෙම හරිමේ අලකලංචියේ අග මුල සොයන්නට​ අම්මාගේ කතාවෙන් යාන්තම් ප්‍රවේශයක් ලැබිණි.

දැන් සති කීපයයක්ම වරුණ අයියා අපේ ගෙදර බව මට මතක් වුණේ එවිටය​ආව ගමන් ආපහු ගියේ නැත​. අද පුංචි අක්කාත් වැඩට ගිහින් නැත​. වරුණ අයියා ගෙදර ඉන්න නිසා අක්කාත් ගෙදර නතරවෙලා.

 මං හිතන විදියට අම්මා හොඳටම දෙහි කපන්නට ඇත​. ජනක කීවා හරිය​. වරුණ ඉංජිනේරුවෙකු බව කියන්නේ බොරුවටය. රස්සාවක් නැතුව ඉබාගතේ යන පල්හොරෙකි.


"මේ කාලකන්නි එකී මේ පල් හොරෙකුට අහුවෙලා". අම්මාගෙ හඬ වෙවුලුම් කන ස්වරූපයකි.


පුංචි අක්කා ගැන මගේ හිත හඬා වැටෙන්නට ආසන්නය​. ඒත් යළිත් නිවැරැදි කරන්නට බැරි තරම් ඇගේ ජීවිතය ගරාවැටී ඇතයි​ මම අනුමාන කළෙමිපුංචි අක්කා දුක් විඳිනවා  දකින්නට වගේම සත්‍යය එළිදරව් කරන්නටද අසීරුය​.  වරුණ අයියා පිළිබඳව මා දන්නා තොරතුරු කිවයූතුයැයි මගේ හිත කියන මුත් ඇවිලෙන ගින්නට පිදුරු දමන්නට පුළුවන් කමක්ද නැත​. වරුණ විසින් ඔහුගේ ජීවිතය පිළිබඳව නොහොබිනා ආකාරයේ රහස්‍යතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ​ ඒ අපුල දනවන​ පැතිකඩ​ පුංචි අක්කාගෙන් වසන් කර තබා ඇත​.


දෙදෙනෙකු අතර කිසියම් එකඟතාවක් ගොඩ නැඟෙනවිට​ එකිනෙකා පිළිබඳ විශ්වාසයක් සහ අවබෝධයක් තහවුරු විය යුතුයයි මම හඟිමි. ඒ වගේම එකිනෙකාගේ පෞද්ගලිකත්වයද සුරක්ශිත වීම වැදගත්‍ ය​. අනික් අතට​ හැම රහසක්ම අනිකාට කිවයුතුද​?


මම මොහොතක් නිහඬව මගේ ඇතුළාන්තයට සවන් දුනිමි.


ප්‍රේමය එකිනෙකාගේ නිදහස සීමාකරන සාධකයක් නොවිය යුතුය. මනුස්සයන් දෙදෙනෙකු අතරේ තිබියයුතු විශ්වාස කටයුතු බවට ඉන් සිදුවන්නේ හානියක් යැයි මම නොයෙක්වර සිතුවෙමි.  එකිනෙකා අභිබවමින් ගොඩනගා ගන්නට අදහස් කරන සහසම්බන්ධතාව තුළින් ප්‍රේමයේ යතාභූතබව පිළිබිඹු වන්නේදැයි යන්න පිළිබඳව මා තුළ පැවතියේ විජිගීසාවකි. පෞද්ගලික ජීවිතයේ කුදු මහත් තීරණ ගැනීමේදී  කිසියම් හෝ නිදහසක් මනුස්සයෙකුට හිමිවිය යුතුය​. හැම ඉස්පිල්ලම පාපිල්ලම අනිකාගේ කැමත්ත අනුව වෙනස් කරන්නට සිදුවීමෙන් ගිළිහෙන්නේ ප්‍රේමයේ උත්තරීතර නිදහස නොවේද​එකෙකු අනෙකාගේ අණසකට යටත්වීම යනුඑකිනෙකා ව්‍යාජ ලෙස අවනත වීමක් පෙන්වන අතර​ ඊට හාත්පසින්ම වෙනස් කැමත්තකට ඉඩදීමනිර්ව්‍යාජත්වය බිලිදීමක් යයි මම සිතමි. 

මේ අදහස් මගේමද මා කියවූ පොතකින් අහුලාගත් ඒවාදැයි තෝරා බේරාගන්නට මා අසමත්‍ ය​. කොහොම නමුත්මගේ අභ්‍යන්තරය තර්ක විතර්ක කරන්නේ ප්‍රේමය අව්‍යාජ වියයුතු නොවේද​ යන පදනමේ සිටය​ඒත් පුංචි අක්කාත් වරුණ අයියත්  අතර උද්ගතව ඇති තත්වය සාමාන්‍ය කරණයට ලක් කිරීමට මම මැලිවෙමි. එහි කිසියම් වංක භාවයක් පවතීඅනික් අතට හිතාමතාම වහංගු කිරීමක් ඇතැයි සිතන්නට ඕනෑවටත් වැඩිය කරුණු කාරණා පවතී.




මීළඟ කොටස නුදුරේදීම​...

No comments:

Post a Comment