Monday, 1 January 2018

තන්තුව

ටික දිනකට ඉහත සිට මට කිසියම් ආගන්තුක බවක් දැනෙන්නට පටන් ගෙන ඇත​. මහ සෙනඟක් මැද වුවද මට තනි දැන්නෙනේ ඒ නිසාවෙනි. මට මිතුරු මිතුරියන් යයි කිවහැකි කිසිම මනුෂ්‍යයෙකු මේ දීර්ඝ ජීවන ගමනේ දී මුණ ගැසී නැත​. සමහරු මට කීවෙ "තනි අලියා" කියලාය​. ඒ මගේ එකලාව ජීවත් වීමට ඇති නැමියාව නිසා වන්නට ඇත​. තනිකම තෝරා ගැනීමට බොහෝ හේතු සාධක තිබුණි. ළඟින් ඇසුරු කළ බොහෝ දෙනා විසින් මා ඔවුන් කෙරෙහි තැබූ විශ්වාසය පළුදු කළ බවට ඇති අත්දැකීම් අති බහුලය​. ඒත් ඔවුන්ට නම් වගේ වගක් නැත​. නමුත් මට එය සුළු දෙයක් නොවේ. ඒනිසා මම බොහෝදෙනාගෙන් ඈත්වී සිටින්නට පෙළඹුනා වන්නට ඇත​.

මම මගේ ආත්මයට සවන් දෙන්නට පටන් ගත්තේ මේ තනිකමෙන් මිදෙන්නටය​. ඒ හඬ මා නොඇසූ විරූදේ මට කියා දෙන්නේය​. එක තත්පරයක් තුළ බොහොදේ පෙතිකඩක කළ ළියකමක් මෙන් සිතුවමට නඟන්නේය​. මේ නිසඟ හැකියාව හෝ පුළුවන්කම මා බාලසන්දියේ සිටම අත්දැක ඇත්තෙමි. නිහඬතාවයට සවන් දීම මට හුරුවුණේ අහම්බයක් ලෙස නොවේ. අදත් මම නිහඬතාවට සවන් දෙමින් හිඳිමි

සියළුම ගහකොළ නිශ්චල වෙලා. හීන් හුළඟක්වත් හමන්නේ නැතිතරම්.  හිමිදිරියත් සමඟ අවදිවෙන කුරුල්ලෙකුගෙ හැර වෙනත් කිසිම ශබ්දයක් නෑහෙනගානයි. නිහඬබව ගැඹුරුයි. අර්ථාන්විතයි.  පිරිසිදු වාතයෙන් බිඳක් ඇද ළයමඬල පුරවා ගන්නකොට අවට පරිසරයේ පවතින ගැඹුරුබව හිත ඇතුළට කාන්දු වෙනව වගේ. කෙළිකවට සිනා හඬින් පිරුණ පරිසරය හදිසියේ නිශ්චල වුණේ කොහොමද කියලා හිතාගන්නවත් බැරිතරම්. එක් එක් කාමරයෙන් හීන් හඬීන් කාන්දුවුණ ගීතයක තණුවකට, කිසියම් සංගීත භාණ්ඩයකින් වැයෙන හඬට, ඒ දවස්වල මං කන්දීගෙන හිටියෙ මගේ දරුවන් මියුරු හඬින් මා සමඟ සංවාදයක යෙදෙනවා වගේ. ඒක සමහර වෙලාවට භාවනාවක් වගේ. හිත දැහැන්ගත වෙන්නට පොළඹවනවා. 

අදත් ඒ මතක අතරින් මට "අම්මා"යයි අමතන හඬ ඇහෙනවා වගේ. ඒතරම් මිහිරි හඬක් මධුරසංගීතයක් තවත් කොහේ තියෙයිද​. දරුවො තුන් දෙනා මා ඇමතුවේ තුන් ආකාරයකට​. එකම වචනය විවිධ ආකාරයෙන් උස් පහත් කර ඔවුන් ඇමතුවේ හරියට නැළවිලි ගීයක් වගේ ළයාන්විතව​. ඒක මං අහපු මිහිරිම වදන​. මොනතරම් චිත්තාවේගයකින් වුණත් කෙනෙක් තමන් ගේ අම්මා අමතන්නේ ඉතාමත් මෘදු මොළොක් සෞම්‍ය විදියට​. ඒ සෞම්‍යත්වය මාත් දරුවනුත් අතර එකිනෙකට යාවුණ සිහින් තන්තුවක් වගේ කියලයි මට හිතෙන්නෙ.

මා ළමා වියේදී, අම්මා සෑම පෝයකටම සිල් සමාදන්ව පසු දින පන්සලේ සිට ගෙදර ආවාම, ජාතක පොතෙන් ඇහිඳ ගත් බණ කතාවක් අපිට​ කියා දුන්නාය​. මුහුදු දියට වැටුණ පැටවා බේරාගන්න, තම වලිගයෙන් මුහුදු දිය ඉහින්ට මහන්සි වුණ ලේණියක් පිළිබඳවූ ජාතක කතාවක්,  වරක් මගේ අම්මා මට කියා දුන්නා මතකයි.
"දරු දුක වාවා ගන්ට බැරුව ලේණී, වලිගේ මූදු වතුරට දාලා ගොඩට එනවා, ඇවිත් ගසාදානවා, ආයෙත් මූදු වතුරට වළිගේ දාලා ගොඩට ඇවිත් ගසා දානවා. දරු දුක කියන එක ඒතරම් විසාලයි. දරුවන් වෙනුවෙන් අම්මෙකුට කරන්ට බැරි දෙයක් මේ මිහිපිට ඇත්තෙ නෑ . දරුවො වෙනුවෙන් තමන් ගේ සංසාර ගමන දිග් ගස්සා ගන්න අම්මලා එමටයි". අම්මාගේ හැඟීම් බර හඬ තවමත් මගේ සවන් පත්ලේ රැව් පිළිරැව් දෙනව වගේ.
දරුවොත් එක්ක අම්මෙක් සංසාරගතව බැඳිලා ඉන්නේ හරියට හීන් කෙන්දකින් ගැට ගහලා වගේ
මවකගෙන් දුවකට පරම්පරාවෙන්  පරම්පරාවකට මාතෘත්වය දායාද වෙන්නේ අර සිහින් තන්තුව නිසා කියලා, පහු කාලෙදි මට හිතුනා. මට දැනුනා. එය නොකැඩෙන නොසිඳෙන නොබිඳෙන, ගව් ගණන් දුරට වුණත් ඇදිලා විස්තාරණය වෙන තන්තුවක්, කෙන්දක්, රැහැන් පටක්. ඒක හරියටම අම්මෙකුගේ ළය මඬල තෙරපාගෙන උනන  හැම රසයක්ම, හැම සුවඳක්ම හැම ගුණයක්ම සංමිශ්‍රිත කිරි පීරක් වගේ. මාතෘ දාරක ප්‍රේමය​ බිඳෙන්නෙ නෑ .කැඩෙන්නෙ නෑ, වෙන් කළාට වෙනස් වෙන්නෙ නෑ. වහන් වෙලා හිටියට කොහේහරි ගිහින් හොයාගෙන එන්නට තරම් අම්මාත් දරුවාත් අතර ගොඩ නැඟිලා තියෙනෙ බැඳීම​ ආත්මගතයි.

ඒ බැඳීම​ හරියටම, කළුනික වගේ හොයන්ටම හිතෙන​,  සිතුමිණක්වන්  මාහැඟි වස්තුවක්සේ හිතට දැනෙන, ආත්මයෙන් ආත්මයට ලුහුබැඳ යන භාවගත සාධකයක්. මොන තරම් භෞතික සැප සම්පත් අත්පත් වෙලා තිබුණත් දරුවෙකුට අම්මෙක්ගෙන් ලැබෙන සෙනෙහස කියන චිත්ත ස්වභාවය මිල කළ නොහැකියි. සම කළ නොහැකියි.  කොන්දේසි විරහිතව, අන්‍යෝන්‍ය බැඳීම කරණ කොටගෙන හුවමාරුවන ​වෙනක් කිසිම මනුෂ්‍යයෙකුගෙන් ජනනය නොවන​ භාවමය ප්‍රපංචයක් ඒක​. දරුවන් තුන් දෙනෙකුට අම්මා වීම දරුවන් හය දෙනෙකුට අම්මා වීම තෙක් විස්තාරණය වීමම මතුළ ජනිත කරන්නේ අසීමිතවූ උද්දාමයක්, ප්‍රහර්ශයක්!

සිහින් සීතල සුළං රැල්ලක් දෙණිපෙත දිගේ ඇදී විත් මගේ දැහැන බිඳදමන්නට තතනයි. සුවිසල් ඕක් ගහමුල නිශ්ශබ්දතාව මැද​, හිතේ පිළිසිඳුන ප්‍රේමයේ උත්තරීතර ආශ්වාදය පියාපත් සලන්නට පටන් ගනියි.  හරිතවර්ණ ඕක් පත් සලිත කරමින් මඳ සුළඟක් හමා එනු දැනේ. නිල් අහස් වියන තෙක් විසිර ඇති අතුපතර  සහිත ඕක් ගහේ සිහිල් සෙවනැල්ල සිසාරා ඉගිලෙන මගේ සිතිවිලි ගව් සිය දහස් ගණන් දුරු ඈත අනන්තයට පියඹා යයි. දිගුලේ දැමු එළවැස්සියක මෙන් මඳ නිදහසකට අවකාශ දී මම නිහඬ වෙමි.

මොහොතකින් මම අර නොකැඩෙන​, සිහින් තන්තුව දිගේ සර්කස්කාරියක මෙන් එහා කෙලවරට දිව යමි. මට කෙලවර නොපෙනේ. තුනී මීදුම් තරලයකින් අවකාශය වැසී ඇත​. සිහින් මීදුම් පටලය විනිවිද ඇදී එන ආලෝක පුංජයක් මෙන් මගේ මතකය අවදි වෙයි. මගේ ආත්මය​ එහි ප්‍රභවය  ස්පර්ශකරන්නටත්, එහි ආමෝදය ආග්‍රහණය කරන්නටත් සමත් වෙයි. රස නහර පිනා යන දිව්‍යමය බොජුනක් මෙන් මම ඒ සුවඳ උකහා ගනිමි. එවන් මොහොතකදී මගේ ගතත් සිතත් විනිවිදව එහි ස්පර්ශය මට දැනෙන්නට පටන් ගනියි.

මේ චිත්ත ස්වභාවය කුමක්දැයි විස්තර කරන්නට තරම් මගේ භාෂා කෞශල්‍යය ප්‍රමාණවත් නැතිබව පමණක් මම  දනිමි. හැඟීම් දැනීම් විරහිත ගන්ඳබ්බ සවරූපයකට මා පත්ව ඇතිවාක් මෙනි. තවත් ආත්ම ගණනාවකට අත නොහැර යන්නට තරම්  මම ඒ සුගන්ධයෙන් මත්වෙමි. මගේ සිත ළපැටි පරෙවියෙකුගේ ගෙල යටින් ගිළිහුණ සිහින් පිහාටුවක් මෙන් සැහැල්ලුය​. නිරාමිස ආනන්දයකින් මා එතී වෙලී යයි.

මිහි මත ඇති කිසිම වදනකින් හැඳින්විය නොහැකි තරම් ප්‍රමෝදයකින් මා සිත පිරී ඇත​. සිතිවිලි සමුදාය ​රූපාකාරයෙන් නොවුණත් මම ඈ හැඳින්නෙමි. ඇගේ සුවඳ හැඳින්නෙමි. ඇය මා අසල ගැවසෙන බව මට දැනෙයි. මම ඈ අමතමි. ඇය සිහින් සරින් මුමුණයි, සවණතට නොව සිතටය​. ඒ මගේ අම්මාය​. භවයෙන් භවයට පැතියයුතු මගේ මව ඇයයි. මා සප්ත සාගරයට වැටුණොත් වලිගයෙන් දිය ඉස හෝ මා බේරා ගන්නට ඒකාත්මිකව කැපවුණ එකම මනුෂ්‍යයා ඇයයි. ජීවිතය යනු අම්මාගේ ළයමඬළට යාවුණ ඇසින් දැකිය නොහැකි එහෙත් ආත්මයෙන් පමණක්දැකිය හැකි සිහින් තන්තුවක් යයි මට දැනෙයි. අනන්තවූ අත්භවයන්හි ඒ මාතෘත්වය විසින් ඇයත් මමත් බැඳී සිටිය බව මගේ ආත්මය සාක්‍ෂි දරයි. මගේ හිතේ උපදින  සිතිවිලි සමුදාය, එකම ඇලපිල්ලක්, යන්සයක්, රේපයක් මඟ නොහැරී කියවන්නට සමත් එකම මනුෂ්‍යයා ඇය වුණේ ඒ නිසාවෙනි. ඒ තන්තුව නිසාවෙනි.

මල්ලිකා එම් බණ්ඩාර


1. 1. 2018

No comments:

Post a Comment