ඔය තරම් මුදු බවින් නුඹෙ දූව අමතනා
නුඹ මටත් ඇමතුවා නෙක මියුරු වදනිනා
තුරුණු සෙනෙහස පුදා ප්‍රේමයේ මලසුනා
දේවදාසියකවූ ඒ
යුගය මියැදුනා
වස්සාන කාලයේ අනෝරා වැහි අකුණු
කුණාටුව හමා විත් ලෝතලය දැදුරු වුණු
සවන් පත් අගුළුලා දරා ගන්නට නොහුණු
කොහිද මුව රැඳි වදන් වැලිකතර මල්පිපුණු?
කසුන් එළි නිවී ගොස් නීල දෙනුවන් ඉවුරු
සුසුම් වැල් මාරුතය බිඳින පදනම් පවුරු
දුරස්වී කළපුවෙන් පහුර ඇදෙනා අයුරු
බලා නිහඬව ඉන්න තරම් නුඹ ඇයි කුරිරු?
සාගරය සේ ගැඹුරු එමෙන් බියකරු සොඳුරු
හැකිද තේරුම් ගන්න ගැහැණියක හද මැදුරු
එඬේරෙකු නොවී මල්පිපුණ උයනක රුසිරු
උයන්පල්ලෙකුව අමතන්න දවසක නොදුරු
මල්ලිකා එම් බණ්ඩාර
06. 01. 2018
No comments:
Post a Comment