අපේ ගමේ පන්සල් හතරක් තිබිණි. පාසල් දෙකක් සහ ක්‍රිස්තියානි පල්ලියක්ද, ගම කෙලවරේ කොම්පැණි රබර්
වතු යායට මායිම්ව හින්දු කෝවිලක්ද තිබූ බව මට මතකය. මේ ගමට මුලින්ම පාසලක් පටන්
ගත්තේ ක්‍රිස්තියානි පල්ලියක් මුල්කර ගෙනය. පාසල පිහිටා තිබුණේ ක්‍රිස්තියානි පල්ලිය ආසන්න පොල්
ඉඩමක කුඹුරු යායට මුහුණලාය. ක්‍රිස්තියානි බැතිමත්
පවුල් මේ පල්ලිය ආසන්නයේ ජීවත්වූ අතර ඔවුන් සඳහා පාසල පටන් ගන්නට ඇත.
එවකට ගමේ තිබූ ගොඩනැඟිලි අතුරෙන් මේ ගොඩනැඟිලි වල
කිසියම් විශේෂත්වයක් මා දැක ඇත්තෙමි. පාසලට ඇතුළුවන ගේට්ටුව ආසන්නයේ සිට බලන විට එක් ගොඩ නැඟිල්ලක කුරුස ලකුණක්
සහිතව වැකි පෙලක් සටහන් ව තීබිණි. ගම්මුන් එය හැඳින්වූයේ “සී සී පාසල” නමිනි. සී සී යන්න කුමක්
සඳහා යෙදුවා දැයි එකල දැන සිටියේ නැත. මා කුඩා කාලයේ මේ දසුන පවා දැනවූයේ කිසියම්
කුතුහලය මුසු හැඟීමකි. ගමේ එම කොටසේ ජීවත් වූවන් බෙහෙවින් එකමුතුය. සාමකාමීය.
එකිනෙකාගේ ඕනෑ එපාකම් මැනවින් සොයා බලා උදව්
පදව් කරන බව දකින්නට තිබිණි. වඩාත් කැපී පෙනෙන විශේෂත්වය වූයේ කුඩා දැරියකට වුවද
ප්‍රත්‍යක්‍ෂ වන අයුරින් මේ මිනිස් කොට්ඨාශය අතර
පැවති සාමකාමී බවය.
ඔවුන් බොහෝ විට අනතුර මඟ හැර තම ආරක්‍ෂාව සඳහා පියවර ගන්නවා මිස සන්ඩු සරුවල් වලට
සහබාගි වූයේ නැත. පොදු සටන් සඳහා හෝ ඉල්ලීම් දිනා ගැනීම සදහා චන්ඩ ලෙස හැසුරුනේ
නැත. කිසිවෙකුගේ ඇණුම් බැණුම් හමුවේ නිහඬ වීම ඔවුන් ගේ ස්වභාවයය. එය මා දුටුවේ
බියගුළු කමකට වඩා හික්මුණ බවක් ලෙසය. ඒ කුඩා
සන්දියේ මා ක්‍රිස්තියානි කාරයින් හැඳිනගත් විදියය. පසු කාලයේ පාසලේදී ක්‍රිස්තියානි දැරියන් මා සමඟ කුළුපඟ වූ බව මට
මතකය. මගේ ගුරුවරුන් අතර කිතුණු ගුරුවරියන්
තුළින් මා ඒ දයාබර බව අත්දැක ඇත්තෙමි. ආගමක් විසින්
එය අදහන මිනිසුන් ගේ පෞද්ගලික ජීවිතය හැඩ
ගස්වනු ලබන්නේ නම්, ඒ ජීවමාන සත්‍යය අපේ ගමෙන්
බෞද්ධ හෝ කිතුණු උදාහරණ සහිතව දැක ඇත්තෙමි. ඉන් පසු මගේ මැදි වියේදි මට හමුවූ කිතුණුවන් අතර ඒ ලක්‍ෂණය
දකින්නට නොලැබුණේ මන්දැයි මම නොදනිමි.
යටත් විජිත යුගයෙන් දේශීය ජනතාවට ලැබුණ දායදයන්
අතර ගම් දනව් වල වෙසෙන සාමාන්‍ය මිනිසුන් ගේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අවකාශයන් විවර
වීම සුවිශේෂී කාරණාවක් ලෙස සැලකේ. එවක පැවති බෞද්ධ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය සමාජයේ ඉහලම පෙලේ ප්‍රභූ පවුල් වල, විශේෂයෙන්
පිරිමි දරුවන්ට සීමා වු අතර එවන් යුගයක මේ පාසල් ක්‍රමය සාමාන්‍ය ගැමි දරුවන් වෙත පැමිණිම සමස්ත
සමාජ ව්‍යුහයේ පරිණාමයක ආරම්භයක්දවීය
මගේ පියාත් ඔහුගේ වැඩිමල් සහෝදරියත් එකම දිනයක C. C. පාසලට ඇතුළු වී එකම පන්තියේ එකට ඉගෙන
ගත් බව මා අසා ඇත්තෙමි. පසු කාලයේ දි ඔහුගේ
බාල සහෝදරියන් තිදෙනාද එම පාසලේම මූලික අධ්‍යාපනය
ලබා තිබුණි. බොහෝ බෞද්ධ පවුල් වල වැඩිහිටියන් තම දරුවන් එම පාසලට යවන්නට මැලි කමක් දැක්වූ බව මා අසා ඇත්තෙමි. ඒ තම
දරුවන්ට ඉංග්‍රීසි බස සහ කිතුණු සිරිත් විරිත් හුරුවේයැයි බියක් පැවති නිසාලු.
පාසල ඇරැඹුනේ පල්ලිය අවට ජීවත් වන කිතුණු ජනයාගේ දරුවන් උදෙසා වුවත් පසු කාලයේදී
බෞද්ධ පවුල් වල දරුවන්ටත් මේ පාසලේ දොර ඇරිණි. මගේ පියාගේ පවුලට සම්බන්ධ අනෙකුත්
පවුල් වල කුඩාවුන්ද ඒ අනුව පාසල් ගමන අරඹන්නට යෙදුනි. පිට ගම් වලින් පැමිණි මොනිටර් ගුරුවරු වෙනුවට පසු කාලයේ ගමේ සිසුන්
අතරින්ම මොනිටර් ගුරුවරුන් බිහිවූ අතර ඒ අනුව ගමේ මුල්ම උගතුන් කණ්ඩායම නිර්මාණය වී තිබුණි.
මේ වන විට ගමේ සම්ප්‍රදායික බෞද්ධ පවුල් වල ගැහැණු
දරුවන් ක්‍රිස්තියානි ඉස්කෝලෙට නොයැවූ අතර ඔවුන් දැන සිටියේ ගෙදොර වැඩපල සහ පන්
පැදුරු මලු මාගල් විවීම පමණි. යන්තම් වයස අවුරුදු දාහතර පහළොව තරම් ළමා වියේදීම ඔවුන් විවාහ කරදීම දෙමව්පියන් ගේ යුතුකම වී තිබිණි. ගැහැණු ළමුන් ලෙස දැන ඉගෙන ගත යුතු යැයි
සැලකෙන ශිල්ප ශාස්ත්‍ර ගැමි දැරියන් වෙත පැමිණියේද මේ ක්‍රිස්තියානි ජන කොටස
නිසාවෙනි. ගමේ අයෙකු සහ විවාහ වූ
ගුරුනාන්සේ නමින් හඳුන්වන කාන්තාවක් ගැහැණු දරුවන්ට මැහුම්ගෙතුම් ඉගැන්වීමේ
යෙදුනාය.
කිතුණු පවුලකින් පැවති කෙනෙකුවූ, මගේ කිරි අම්මාගේ නෑදෑයෙකු, ගුරුනාන්සේගේ සැමියා වූ අතර මේ ඥාතිත්වය පදනම් කර ගෙන මගේ මව ඇතුළු ඇගේ බාල සහෝදරියන්ට ගුරුනාන්සේ වෙත
ගොස් මැහුම් ගෙතුම් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබීණි. බීරළු වූල් සහ රේන්ද ගෙතීමට අමතරව ගුරුනාන්සේ සිංහල සහ ඉංග්‍රීසි අකුරු යොදා
කොට්ට උර, මේස රෙදි, පුටුකවර
ආදිය අතින් එම්බ්‍රොයිඩරි කරන්නට ඉගැන්වූ අතර, සිංහල
සහ ඉංග්‍රීසි හෝඩිය ඉතා හොඳින් ඉගෙන ගන්නට දැරියන්ට ඉඩකඩ ලැබී ඇත. ඉන් පසු අකුරු
යොදා වචන ගොඩනඟන ආකාරය තම සිසුවියන්ට ඉගැන්වීමට ගුරුනාන්සේ දැරියන් යොමු කර ඇත.
මේ නිසාදෝ,
"ගුරුනාන්සෙට පින් සිද්දවෙන්ට අපේ ඇස් පෑදුනා
යයි"
මගේ අම්මාගේ පවුලේ සහෝදරියන් කියනවා නොයෙක්විට මම අසා ඇත්තෙමි.
ඊට සමාන්තර කාලයක බෞද්ධ පුනර්ජීවනයේ ප්‍රතිපලයක්
ලෙස බෞද්ධ පාසල් ඇරැඹීමත් සමඟම ගමේ බහුතර බෞද්ධ මිනිසුන් ගේ අනුග්‍රහයෙන් බෞද්ධ මිශ්‍ර
පාසල ඇරැඹි අතර මුළු ගමේම දරුවන් එකට ඒකරාශී කළ ආයතනයක් බවට පත් විණි. මගේ පිය පාර්ශවයට අයත් කුඹුරු වල
පිල්ලෑව ලෙස වෙන්ව තිබූ අක්කරක පමණ හිස් ඉඩමක් පාසල සඳහා පරිත්‍යාග කළ බව කියවේ. එය පවුල් දහයක්
පහළොවකට පමණ පාරම්පරිකව උරුම විය හැකි හවුල් ඉඩමක්
බැවින් මේ පොදු කටයුත්ත සඳහා පරිත්‍යාග කරන්නට ඇත. එසේ නොවිණි නම් උරුමක්කාරයින් අතරේ බෙදා හදා ගන්නට ගොස් පර්ච් එකකටත්
අඩු වපසරියක් සඳහා පසු කාලයේ ඉඩම් නඩු වලට පැටලී, ඉඩමත්
නෑකමුත් නැතිකර ගන්නවාට සැක නැත. ඒ නිසා එදා මේ ඉඩම පරිත්‍යාග කිරීමට කාලෝචිතව තීරණය
කළ ආදී මුතුන් මිත්තන්ගේ සත් ක්‍රියාව බෙහෙවින්
පැසසිය යුතුය.
සැතපුම් තුනක් තරම් දිගට විහිදෙන, විශාල ජනගහනයක්
සහිත මේ ගමේ හැම ළමයෙක්ම පාහේ පාසල් අධ්‍යාපනය සඳහා යොමු කර තිබිණී. මට මතක කාලයේ, මගේ මවගේ බාලම සහෝදරියන් දෙන්නාත් ඒ පාසලට ගිය බව දැක ඇත්තෙමි. බෞධ
පාසලේ ගුරුවරුන්, එක පන්ති කාමරයක් තුළ විශාල ශිෂ්‍ය
සංඛ්‍යාවකට ඉගැන්වූ අතර ක්‍රිස්තියානි (C.
C ) පාසලට ගොඩ නැඟිලි ගණනාවක්, පහසුකම් සහිත ගුරු නිවාසයක් ඇතුළුව, වැසිකිළි කැසිකිළි පහසුකම් සපුරා දී තිබුණි. ඒ නිසා ඉඩකඩ ඇති ශාලාවක, අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් සහිත පන්තියක වැඩ කිරීමේ අවස්ථාව එම
ගුරුවරුන්ට ලැබෙන්නට ඇත. සුප්‍රසිද්ධ "ගුරු
ගීතයේ" මෙන් මේ පාසල් වලද ගුරුවරුන් විසින් පාසලට නොඑන දරුවන් සොයා ඔවුන් ගේ
නිවෙස් වෙත ගොස් දරුවන් පාසලට කැඳවා ගෙන විත්
ඉගැන්වූ බව අසා ඇත්තෙමි.
මේ හැරුන විට පාසල් දෙකේ පෙළපොත්ද එකිනෙකට වෙනස්
විය. බෞද්ධ පාසලේ වැඩියෙන් භාවිත වූයේ බෞද්ධ පෙළපොත් වූ අතර ක්‍රිස්තියානි පාසලේ පෙළපොත් මෙන්ම ආචාර ධර්මද වෙනස් විය.
බෞද්ධ පාසල බොදුනු දෙවග හික් හල ලෙස හැඳින්වූ බව මගේ පුංචි අම්මලාගේ පොත්පත් වල
ලියා ඇති වැකි අතරින් අපහසුවෙන් ගලපා කියවූ මුත් එම
වැකි වල සැබෑ තේරුම දැනගන්නට ලැබුණේ බොහෝ කාලයකට
පසුවය. ගමේ සිටි හෙළයන් මෙසේ හෙළ බස වහරන්නට ඇත.
ගමේ තුන්වන පාසල ආරම්භ කළේ අපේ කිරි අම්මලාගේ
ගෙදරට නුදුරු තැනකය. එනම් ගමේ පන්සලේය. කුඹුරු යායකට යාව ඒ ගෙදරට පෙනෙන දුරින් පන්‍සල පිහිටා තිබිණි. මගේ කිරි අත්තා, මගේ මවගේ පියා පන්සලේ ප්‍රධාන
දායකයා වූ නිසා
පන්සලත් මේ ගෙදර අයත් අතර සමීප සම්බන්ධතාවක් පැවතිනි. පන්සලට ආසන්නම නිවස එය වු නිසාත්, අල්ලපු වැටේ පදිංචිව
සිටියේ කලහකාරී ගැහැණියක නිසාත් පන්සලේ දායක-කාරකාදීන් කැඳවීමේ සිට පිටතින් වැඩම
කරවන භික්‍ෂූන්වහන්සේ වෙනුවෙන් දන් සලාකයට අමතරව
ගිලන්පස සහ දානයේ අඩුපාඩුවක් වූ විට අවශ්‍ය කළමනා සම්පාදනය කිරීමට අපේ කිරිඅම්මා
සැදී පැහැදී සිටියාය.
විවිධ පලතුරු ගස් වලින් හෙබි පන්සල් වත්ත ළගන්නා
සුළු උයනක් ලෙස සකසා තිබුණි. පන්සල විශේෂ තැනක් ලෙස මගේ ළමා මනසට පිවිසෙන්නට ඇත්තේ එහි ඇති
බැල්කනිය සහිත සංඝාවාසයත්, ගලින් නිමවූ බෝධිඝරයත්, සීයකට හමාරකට පමණ එකවර වාඩිවී බණ ඇසීමට ඉඩකඩ සහිත විශාල බණ මඩුවත්, සැඳෑ කාලයේ විදුලි එළියෙන් ආලෝකමත් වන පන්සල කිසියම් මනස්කාන්ත තැනක්වූ නිසා වන්නට ඇත. එහි දොරගුළු දැමූ
කාමරයක විදුලිය උපදවන යන්ත්‍රයක් තිබූ අතර, හැන්ඳෑ කාලයේ එය ක්‍රියත්මක වන හඬ කිරිඅම්මලාගේ ගෙදරට ඇසුණි.
දහම් පාසලින් බුදු සිරිත ඉගෙන ගන්නා විට පන්සල්
භූමියේ තිබූ අධ්‍යාත්මය තුළ ඇතිවන සංයත බව බුද්ධ කාලීන දෙව්රම් වෙහෙර සහ වේළුවනාරාමය අවටත් මේ අයුරින්ම තිබෙන්නට ඇතැයි මවිසින් උපකල්පනය කර තිබේ. පන්සල් වත්තේ එක් පසෙක වෙල් එළිය අවරණය
වන පරිදි හොඳින් වැඩුන උණ පඳුරු දකින විට
වේළුවනාරාමය පිළිබඳ මා ඇසූ බෞද්ධ කතා මගේ සිතට
නැගෙන්නට ඇත. මිදුලේ සුදු වැලිතලය ස්පර්ශ කරන
ගෙඩි සහිත අඹ ගස් ජීවක අඹ වනය සිහිපත් කරනු
ලැබිණි. අනික් පසින් නන් පැහැ මල් වලින් ගැවසුන අරලිය
වැටිය ශුද්ධ භූමියක පවතින ශාන්ත බවත් නිවී සැනහුන බවත් ගෙනෙනු ලැබිණි. ක්‍රමවත්ව
සැකසූ මල් පාත්ති වල මල් පිරී තිබුණි.
එවැනි දවසක මගේ පියා විසින් මා පන්සලට කැඳවා ගෙන ගියබවත්, එතැන් පටන් මගේ පාසල් ජීවිතය ආරම්භවු බවත් මට තාමත් මතකය. සුදු පැහැති පසු බිමේ පුංචි මල් වැටුණ අළුත්ම ගවුමක් අම්මා විසින් මට අන්ඳවා තිබිණි. පාවහන් රහිත පායුග පිණි වතල තණපත් මත තබමින් තාත්තාගේ අතේ එල්ලී පන්සලට ආවේ අම්මා සමඟ හීල් දානය අරන් එන පිළිවෙලට නොවේ. අම්මා ගේ හුරුබුහුටි දෑතින් මනාව රටා දමා වියන ලද පුංචි පන් මල්ලක් තාත්තාගේ අතේ තිබිණි. ගල් ලෑල්ලක්, සිතුමිණ හෝඩිය පොතත්, ගල් කූරත් ඒ තුළ පරිස්සමින් අසුරා තිබුණි.
එවැනි දවසක මගේ පියා විසින් මා පන්සලට කැඳවා ගෙන ගියබවත්, එතැන් පටන් මගේ පාසල් ජීවිතය ආරම්භවු බවත් මට තාමත් මතකය. සුදු පැහැති පසු බිමේ පුංචි මල් වැටුණ අළුත්ම ගවුමක් අම්මා විසින් මට අන්ඳවා තිබිණි. පාවහන් රහිත පායුග පිණි වතල තණපත් මත තබමින් තාත්තාගේ අතේ එල්ලී පන්සලට ආවේ අම්මා සමඟ හීල් දානය අරන් එන පිළිවෙලට නොවේ. අම්මා ගේ හුරුබුහුටි දෑතින් මනාව රටා දමා වියන ලද පුංචි පන් මල්ලක් තාත්තාගේ අතේ තිබිණි. ගල් ලෑල්ලක්, සිතුමිණ හෝඩිය පොතත්, ගල් කූරත් ඒ තුළ පරිස්සමින් අසුරා තිබුණි.
බණ මඩුවේ එක් කෙලවරක් මැද සුදු පැහැති ඇතිරිල්ලක්
දැමූ මේසය අසල, සුදෝ සුදු වතින් සැරසුන
මෙතෙක් මා දැක තිබූ පිරිසිදුම මිනිසා හිටගෙන සිටියේය. ඔහු මිනිසෙක් දැයි නොහිතෙන
පිළිරුවක් යයි හැඟෙන තරමට නිශ්චල විය. පැහැපත් විය. ප්‍රසන්න විය. සිහිනිශ්චල විය සිනාවක් යාන්තමට ඒ
මුහුණෙහි රැඳී තිබිණ. තාත්තා දෑත් එක්කොට ඔහුට ආචාර
කළේය. මම තාත්තාගේ අතහැකිතාක් තදින්
දෝතින්ම අල්ලා ගෙන මදක් පිටිපසින් සිටියෙමි. තාත්තාගේ
කාකි ඇඳුමට වඩා මේ ඇඳුම කොයිතරම් පිරිසිදුදැයි සිතෙන විට මට මදක් ලැජ්ජා සිතුනි. එකල කාකි ඇඳුම කිළිටි ඇඳුමක් ලෙස
මවිසින් දකින්නට ඇත.
මගේ වයසේ ළමුන් ගේ අතින් අල්ලා ගත් අම්මල්ලා සහ
තාත්තලා නා ගස් සෙවනේත්, සල් ගස් සෙවනේත් කතාකරමින් සිටිනු
පෙනුනි. මේසය මත තිබු කුඩා ගන්ඨාරය (සීනුව/bell) හෙමින් සෙලවූ, සුදු පැහැති ඇඳුමින් සැරසුන මිනිසා අපිට පේලියකට හිට ගෙන පන්සිල්
සමාදම් වන ලෙස කීවේය. නායක හාමුදුරුවෝ පන්සිල් දුන්හ. දෙමව්පියෝ අනුකරණය කළෝය.
ළමුන් වන අප දෙමාපියන් ගේ ඇඟේම ඇළී සිටියේ එතරම් සන්සුන් මනසකින් නොසිටිය නිසා වන්නට ඇත. ඉන් පසු නායක හාමුදුරුවෝත් විදුහල්පතිතුමා වන සුදු
වතින් සැරැසී සිටි තැනත්තාත් යමක් කී මුත් අපි
කීයෙන් කීදෙනෙකුට ඒවා තේරුණාදැයි මම නොදනිමි.
මගේ පාසල, එනම් ශ්‍රී ධර්මෝදයාරාම පාසලේ එක ගුරුවරියක් සහ විදුහල්පති කෙනෙක්
විතරක් හිටිය තැනක්. මුල් දවසේ හිටියෙ ළමුන්
විස්සක් විතර. ඒ සතිය පුරහාම අළුතෙන් ළමයි පන්තියට
ආව. මනුස්ස කට හඬක් ඉඳහිට ඈතින් ඇහෙන තරම් දුරින්, හුදකලා
පරිසරයක පිහිටි අපේ ගෙදර, මුළු උදේ වරුව
තනිවම වැලිබත් ඉව්ව මට, මේ ජනාකීර්ණ පරිසරය දැනුනෙ මහ අමුතු ලෝකෙකට ගියා වගේ.
ගුරුවරිය අපිට කෑම බෙදලා දුන්න. හැම දවසකම පන්සලේ
දායකයින් ගේ ගෙවල් වලින් අපේ දිවා ආහාරය ගෙනාව. දවසින් දවස වැඩුන පන්තියේ ළමුන්
ප්‍රමාණය හතළිහක් තරම් වුණා. මේ හතළිහක් පමණවූ සම
වයස්තයින් අතරින් මට හිටියේ එකම එක යාළුවෙක් විතරයි.
එයත් මගේ ඥාති සහෝදරියක්, අපේ අම්මා ගේ නැඟණියකගේ දරුවෙක්. අපි දෙන්නා අතරේ මාස කීපයක වයස්
වෙනසක් තිබුණෙ. අපි වාඩිවුණේ එකම තැන. පන්ති භාර ගුරුවරිය අප එකිනෙකා වෙනස් තැන්
වල වාඩි කළත් මම හැමදාම නංගී ළඟින් වාඩිවුණා.
මුල්ම දවස් වල මට “ම”යන්න
ලියන්ටම බෑ. “ල” යන්නත්
එහෙමයි. මම අකුරු පටන් ගත්තේ අග හිටං මුලට. මට “ම” යන්න “ල”යන්න
ලියන්ට බැරි වෙනකොට මගේ සහෝදරිය සීතා මට ඒක ලියලා දෙනවා. ඒ නිසා මට මගේ නම ලස්සනට
ලියන්න අපහසු වුණා. අග සිට මුලට අකුරු ලියන පුරුද්ද මට කුඩා කාලයේ පටන් හුරුවෙලා
තිබුණ බව මිස ඒ කුමන හේතුවක් හෝ අහේතුවක් නිසාදැයි මා දැන සිටියේ නැහැ. මං ඒක
අමාරුවෙන් වෙනස් කර ගත්තේ A /L කරන කාලයේදීය. වරක් මා විසින් මගේ නම ලියන ආකාරය දැක එක් ගුරුවරයෙක් " මේ ළමඑයා පටිසෝතගාමි ළමයෙක් "යයි විසුළු හිනාවකින් යුතුව ඔහුටම කියාගත්තේය. හිනාවත් වචනයත් අතර කිසියම් අසාමාන්‍ය සම්බන්ධයක් තිබුණ බව මගේ ළමා සිත තුළ තැන්පත්විය. ඒත් තේරුම දැනගන්නට බොහෝ කාලයක් ගතවිය. නිවැරැදිව පටිසෝතගාමී යන්නෙහි ගැඹුරු අර්ථය මං දැනගත්තෙ පිටිදූවේ සිරි සමන්ත භද්‍ර විහාරෙන් බණ අහලා මිස
පටිසෝතගාමීව අවබෝධ කරගෙන නෙවෙයි.
ඉතින් පළමු වන දවසෙ විදුහල්පතිතුමා බොහෝම ආදරෙන් මාව ළඟට අරගෙන සිතුමිණි හෝඩිය මේසය මත
තියා අකුරු කියවීම පටන් ගත්තා.
ඒ කරලා මගේ තාත්තට මෙහෙම කියනව ;
“ඔන්න දැන් මේ දරුවා අකුරු කියවන්ට යන්නෙ. ඔන්න දැන් මම කියන අකුර තාත්තටත් ඇහෙන්න හයියෙන් කියනවා. ඔන්න අහගන්න".
ඔහු තාත්තා දිහා බැලුවා. මාත් තාත්තා දිහා බැලුවා. තාත්තත් මට ඔළුව වනලා සංඥාවක් දුන්නා. මට හිතට හයියක් දැනුනා.
ඔහු තාත්තා දිහා බැලුවා. මාත් තාත්තා දිහා බැලුවා. තාත්තත් මට ඔළුව වනලා සංඥාවක් දුන්නා. මට හිතට හයියක් දැනුනා.
පළවෙනි වතාවට හෝඩි පොත දැක්කෙත් අකුරු කීවෙත් ඉස්කෝලෙ ගිහින්. ඒ කාලෙ එහෙමයි. ළමයි ගිරව් කරලා ඉස්කෝලෙ යවන්නට වෙලාවක් අම්මලාට නෑ.
එහෙම ඕනකමක් තිබුණෙත් නෑ. ඒ වුණත් අවුරුද්ද ඉවර වෙන කොට ලියන්න පුළුවන්. නමුත් මගෙ නංගී එක්ක හැර, කා එක්කවත් කතාකරන්න මම හරිම ලැජ්ජයි .
විදුහල් පතිතුමා " අ " කියන කොට මම ඉතාමත් හෙමින් "අ " කීවා. තාත්තා නම් මහා වීර ක්‍රියාවක් කරපු කෙනෙක් දිහා
බලන විදියේ බැල්මකින් හිනා වුණා. විදුහල් පතිතුමා “බොහොම
හොඳයි” කීවා.
ඊට පස්සෙ "ලොකු මහත්තයා" තාත්තට තමයි කතා කළේ.
“ළමයගේ නම?”
මං මගේ නම දන්නේ "කිරී" කියල. “කිරි දුව” නැත්නම් “කිරි නංගි” කියල. තාත්තා වෙන මොකක්දෝ දිග නම් වට්ටෝරුවක් කියාගෙන යනව. ඒ මමද? මම බිරන්තට්ටු වෙලා බලාගෙන හිටියා.
“උපන් දිනය?”
එහෙම එකක් දැන ගෙන හිටියෙම නෑ. එකදාස් නවසිය කියලා
තාත්තා පටන් ගත්තා. ඉතිරි ටික මට තේරුනේ නෑ.
මගේ මුළු නම මම දැන ගත්තෙ එදා. මගෙ උපන් දිනය
දැනගත්තෙත් එදා. ඒවා මට මහ අමුතු
දේවල්. මම හරියට ගල් යුගයෙන් මේ දැන් එළියට ආව වගේ. අවුරුදු පහක් වෙනතුරු මට අප්‍රමාණ
නිදහසක් ගෙදරදි තිබුණා. කුඩා කඳු ගැටයක මැද හරියේ හුදකලා පරිසරයක තිබුණ ගෙදර විශාල මිදුලේ එහෙමෙහෙ දුව පැන ඇවිද්දා. ගස්
වැල් අතර තියෙන සමාදානය ගේ ඇතුළේදීවත් මට දැනුනෙ නෑ. හුදකලාව තරම් සහනයක් මට
තිබුනෙම නැහැ. මිනිසුන් අතර නැති සතුටක් ගහ කොළ
අතරේදී දැනුනා.වින්දා.
කුරුල්ලන් ලේනුන් ගහ කොළ මල් මිස මට හැමදාමත් එක දිගට බලාගෙන ඉන්න පුළුවන් එකම
දෙය හඳුරුක්කන්ද විතරයි. උදේ හිට රෑ වෙනතුරුත් මං බලාගෙන හිටියෙ, රබර් වත්ත මුදුනෙන් ඉර මතුවෙන විදිය. ඉර එළිය අපේ ගෙදර පහුකර ගෙන ඇවිත් හඳුරුක්කන්ද මුදුනේ තැවරෙන විදිය. ඊට පස්සෙ කන්දේ සෙවනැල්ල කුඹුරු යායට වැටිලා ටිකෙන්
ටික ගම්මැද්දට එන විදිය. ඒ ඇරුනාම, හෙවැනැල්ල
වැටෙන තැන අනුව එදිනෙදා සිදුවෙන දේ මම දැනගෙන හිටියා.
උදේ කෑම. ඊළඟ තව කෑම, දවල්කෑම, තේ වෙලාව, අම්මා උයන වෙලාව. අම්මා
ළිඳෙන් වතුර ඇදලා බැරල් එකට පුරවලා මට නාවන වෙලාව. අයියලා සහ අක්කා ඉස්කෝලෙ ඉඳලා ගෙදර එන වෙලාව ආදී වශයෙන්. ඉර හඳුරුක්කන්දෙන් මුවා වෙලා නොපෙනී යන වෙලාව. මගේ දවසේ ශෝක ජනකම
මොහොත ඒක. ඉර ආයෙත් හෙට ආවෙ නැත්නම්? මට දැනෙන්නෙ මහා දුකක්. බයක්. පාළුවක්. මට අම්මා පෙනෙන්නෙ නැති වෙයි. මම බයෙන් මිරිකෙනව. පුංචි කඳු
ගැටය මුදුනෙන් හඳ එබී බලන කොට යන්තම් හිතට සැහැල්ලුවක් දැනෙනව. උදේ වෙන තුරු මට මහ නොඉවසිල්ලක් දැනුනා. ඒ නොඉවසිල්ලත් එක්ක නින්ද යන්න
ඇති. හැම උදේකම මම යෝධයෙක් වගේ නැඟිට්ටා. මා තුළ
යෝධයෙකු නිදා සිටින බව මට හිතුන.
ටිකින් ටික වැඩෙන කොට නිදා සිටින යෝධයා
නැඟිට්ටවන්න ගිහින් දස දහස් වාරයක් වැටෙන්න ඇති. වැටෙන හැම වාරයකදීම නැඟිටින්න ඕන
බව හිතට දැනුණා. රිදුනා මදි නොකියන්ට, ඒත් නැඟිට්ටා. සමහර වෙලාවට පෙරේතයා පොළොවේ
ගැහුවා වගේ වැටුන තැනම ලැගගෙනත් හිටියා. හොටු කඳුළු පෙරාගෙන ඇඬූවා. නිරපරාදේ
නින්දා අපහාස ඇහෙන කොට, මනුස්ස දුවෙකුගෙ ඇස් වලට
කඳුළු උනනව. ඒත් ජීවිතය කියන්නෙ මොන තරම්
වටිනා දෙයක්ද කියන එක, අර මා තුළ නිදා ගෙන හිටිය
යෝධයා හැම වෙලාවෙම මට මතක් කරලා දුන්නා. හැම
මනුස්සයෙක් තුළම යෝධයෙක් සැඟවෙලා ඉන්නවා. මනුෂ්‍යත්වයේ නාමයෙන් ඒ යෝධයා
නැඟිට්ටවන්නේ කොහොමද කියන එක අවබෝධකරගන්න පුළුවන්නම් ජීවිතය අභියෝගයක් නෙවෙයි!
විශේෂයෙන් දැරියක තුළ යෝධයෙක් නිදා සිටිනවා කියලා
පිළිගන්න කවුරුත් කැමති නෑ. පිළිගත්තත් හැමෝම කැමතියි එයාට lulls කියලා sleeping beauty කෙනෙක් කරන්ට.
ඒ සඳහා Lulls වර්ග ගණනාවක් තියෙනවා ex:
culture, tradition, religion, family line etc.
දැන් අපි රෝල් එක මාරු කරමු! From Sleeping beauty to Hercules !
දැන් අපි රෝල් එක මාරු කරමු! From Sleeping beauty to Hercules !
මල්ලිකා එම්
බණ්ඩාර
12. 03. 2018
No comments:
Post a Comment