මතකයෙන් බිඳක්
- 4
උයන්පල්ලා ගේ කතාව
(මේ සටහන: සරසවි උද්‍යාන සේවක ජිනදාස නම්වූ පරිසර හිතකාමී මිනිසාට උපහාර පිණිසයි).
සිහින් මිටි සිරුරක් සහිත අව්වට කරදැවී වැස්සට පෙඟී පදම් වුණ ඡවි වර්ණය සහිත නිතර දකින මේ පුංචි මිනිසා මා තුළ දැනවූයේ සානුකම්පික හැඟීමකි. නිරන්තරයෙන් බිමට නැඹුරු කරගත් මුහුණ මත ගිලීගිය බයාදු දෑස අප දුටු සැණින් බිමට නැඹුරු වෙයි.
"හා... ජිනදාසෑ... කොහොමදෑ...?"
ඉඳහිට හෝ මම ඔහුව ඇමතුවේ ඒ දුඛිත මුහුණ මත හිනාවක සේයාවක් ඇඳෙනු ඇතැයි අපේක්ෂාවෙනි. ජිනදාස යාන්තම් හිනාවක් නඟා ගන්නට උත්සාහයක යෙදුණි. ඒත් ක්ෂණිකව ඒ හිනාව සඟවා ගත්තේය.
"මිසීලත් එක්ක හිනා වෙන එක අපි වගේ සුලු සේවකයින්ට අකැපයි නේ" වැනි හැඟීමක සෙවැනැල්ල ඒ උත්සාහය තුළ සැඟවී තිබිණැයි මම අනුමාන කළෙමි.
"හාමු දකියි!" (ඒ කියන්නෙ එවකට Ramanathan Warden Mrs Cook) කියල වට පිට බලලා එහෙම තමයි එයා අපිට කතා කරන්නෙ. එයා පේරාදෙණිය කැම්පස් ඉතිහාසය (විශ්ව විද්‍යාල භෞතික ඉතිහාසය) ගැන අපූරු තොරතුරු කියනව.
අපේ “rooms”වලට පිටුපස පිට්ටනියෙ, ජිනදාස විසින් ක්‍රමවත්ව කපා හැඩකළ ක්‍රෝට්න් පඳුරකට මැදිවෙලා මීටර් භාගයක් තරම් උසට අඹ පැළයක් තිබුණා.
“ඇයි මිසී?"
"ඒක ඔන්න ඔහෙ ලොකුවෙන්න අරින්න". බැල්කනියෙ ඉඳලා මම කීව.
"මිසීලා දන්නෙ නෑ. "අයිවෝ ජෙනිස්" (Sir Ivor Jennings) මහත්තයා හොඳට හිතලා මතලා තමයි පැලයක් හිටෙව්වෙත්. මල්වල පාට ගැලපෙන විදියට තෝරාගත්තු ගස්, ගස් අතරේ නියමිත දුර, උස ගස්, මිටි ගස්, හීන් කොළ තියෙන ගස් වගේම වැල් යවන්ට ඕන ගස්, ආරුක්කු විදියට තියෙන්න ඕන ගස්, මොනවද කියලා හරියටම කල්පනා කරලා තමයි මේ පොළොවේ හිටෙව්වෙ.
බොහොමයක් මල් පැල ගෙනාවෙ මැලේසියාවෙන්. අපි මේ ගහකොළ හදා වඩා ගත්තෙ දරුවො වගේ. ඒ හින්දා අපි ඒවා ආරස්සා කර ගන්න එකනේ හරිදේ".
ජිනදාස කීව.
පසු කාලයේ නැවතත් දිනපතා මට ජිනදාස දකින්නට ලැබුණා. ගැටඹේ අළුත් පාලම හදන්න ඉස්සර, උදේට ගන්නොරුව බස් එකෙන් මම නුවර ගිය කාලයක් තිබුණා. ගන්නොරුව පාරේ ගං නැම්ම ළඟ, බස් එක එනතුරු මඟ බලාගෙන සිටින මට, පාරේ අනික් පසින් ඇවිද ගෙන යන පුංචි මිනිසා මගේ මතකය සරසවියට යාකරනවා.
ඔහු පදිංචි වෙලා හිටියෙ ගන්නෝරුවේ. බොහෝ දිනවල උදෑසන, එදා වගේම සිරස් තීරු සහිත ලෙදර්බෑගය අතේ එල්ලා ගෙන, සුදු කොටු සරම සහ සුදු අත්කොට කමිසය ඇඳ, පොකට් සහිත කළු හම් පටිය ඉණට බැඳ සිටින ජිනදාස, දුර තියා මා දකින ඔහු බිම බලාගෙන මා පසු කර ගියා මිස හිස ඔසවා බැලුවේ නැත.
මම මගේ සුපුරුදු පුළුල් හිනාව පෑවත්, ඒ කාලයේ ඔහු මට හිනා වුණේ තරමක චකිතයකිනි. මූණට හිනාවක් එකතු කරන්නට උත්සාහයක යෙදෙන ගමන් මං පහුකරගෙන යන හැටි මට තවමත් මතකයි.
ජිනදාස විශ්ව විද්‍යාලයේ වැඩට ඇවිත් තිබුණෙ එයා තරුණ කාලෙ. 1980 ගණන් වල විශ්‍රාම ගියත්, 90 වෙනතුරුත් විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට පෞද්ගලිකව “gardening” කළා.
"තාම කැම්පස් එකේද වැඩ ? වරක් මම ඇසුවෙමි.
"අපි විශ්‍රාම යැව්වා මිසී. මම දැන් විස්ව විද්‍යාලෙ සර්ලාගේ බංගලා වල ගාඩන් වැඩ කරනවා".
දශක ගණනාවක් සරසවි බිමේ උද්‍යාන නඩත්තු කළ, එහී අපූර්ව සුන්දරත්වය පවත්වා ගෙන යාම සඳහා උරදුන් මේ මිනිසා, තාමත් ජීවිත්වීම උදෙසා සිය අබලන් සිරුර වාරු කරගෙන යන ගමන කොතරම් සෝචනීයදැයි මට සිතුණි.
මල්ලිකා එම් බණ්ඩාර
ඔහු සරසවි සේවකයෙක් නම්, Nathan එකේ වෝඩිට හාමු කියලා කියන්නේ ඇයි?
ReplyDeleteRasika, this is a little clarification for your comment. Ramanathan minor employees addressed the warden Mrs Cook (Nee Vajira Kannangara)as "Haamu". Because, as I think that she has come from a big family, the Kannangara family.
ReplyDelete