Tuesday, 27 March 2018

අද​ ජීවත් වෙමු !



මනුෂ්‍ය ජීවිතය සහ එහි ස්වභාවය වටහා ගන්නට නම් දාර්ශනිකයන් වියයුතුම නැත​. පොත-පත කෙනෙකුට, ගුරුවරයෙක්. මඟපෙන්වන්නෙක්. පොතපත ජීවිත ගමනට පහන් වැටක්, අඳුරෙන් එළියට එන්නට උපකාර වෙන හිණි පෙතක්! 
පොතපතින් අවශ්‍යදේ පමණක් ග්‍රහණය කරගන්නට නම් ඒ සඳහාද කෙනෙකුගේ බුද්ධිමත්ව තේරුම් ගැනීමේ හැකියාව සක්‍රීයව​ තිබිය යුතුයි. කෙනෙකුගේ ජීවිතයේ ප්‍රගමනයට අදාල  කරගත හැකි දේ පමණක් තෝරා බේරා ගැනීමේ හැකියාව කුශලතාව බෝහෝදෙනෙකුට ඇත්තේ නැහැ. අනික් අතට විශේෂයෙන් ශාස්ත්‍රීය පොත පත අධ්‍යයනය කිරීමෙන් අත්කරගත හැකි පෘථුල​ ප්‍රයෝජන තිබියදීත්, ඒවා තම ජීවිත වලට ප්‍රායෝගිකව ආදේශ කරගන්නට උත්සාහ කරන්නේ කීයෙන් කීදෙනාද​?

අපි සමාජයේ වහලුන්, අපි සංස්කෘතියේ වහලුන්. අපි ආගම් වලත් වහලුන්. ආගමික ශාස්තෘවරුන්ට වඩා අපි අනුගමනය කරන්නෙ ආගමික සලකුණු/ නිමිති (symbol) වලට​. ඒ ශ්‍රේෂ්ඨ මිනිසුන් ගේ ඉගැන්වීම් වලට වඩා අපි කැමතියි ඒ ඒ ආගම ජීවිකා වෘත්තිය කරගත්,ඒ ඒ ආගම් වෙනුවෙන් පෙනීසිටින අයගේ ඉගැන්වීම් වලට. අපි ආගම් අදහනවා නමුත් පිළිපදින්නෙ නෑ. ඒ නිසා අන්ධානුකරණයෙන් ජීවත් වෙනවා. ආගම නිදහස් චින්තනයට වැට බඳින බව ඉතිහාසයේ අහඹු සිද්ධීන් ලෙස සැලකෙන බොහෝ සිදුවීම් අතර ශ්‍රේෂ්ඨ චින්තකයින්, බුද්ධිමතුන්, ප්‍රාඥයින් ගේ ජීවිතවලින් වන් දි ගෙවන්නට සිදුවූ බව සරල උදාහරණයක්. ​ 

බොහෝදෙනා හුරුවී තිබෙන්නේ සාම්ප්‍රදායික විදියට අවිචාරයෙන් අනුන් අනුකරණය කිරීමට උත්සාහ කිරීමයි. තමන්ට ගැලපෙනදේ පමණක් තෝරාගන්නට අපි නොහිතන්නේ ඇයි? අන් කෙනෙකුට ගැලපෙන හෝ පවත්වා ගෙන යාහැකි සිරිත් විරිත් හෝ ඇවතුම් පැවතුම් හෝ වියහියදම්, ඇඳුම් පැළඳුම්, කෑම් බීම් සිට කුදු මහත් එදිනෙදා ජීවිතය හා සම්බන්ධ දේවල් පිළිබඳව අපි තීන්දු තීරණ ගන්නෙ අවිඥානිකව.​ මුලින්ම ඒවා තමන්ට ගැලපෙනවාද​, ඒවා පවත්වා ගෙන යාමට පුළුවන්කම තියෙනවාද යන වග ගැන සැලකිළිමත් වීමයි වැදගත්.  එතකොට අවුලුත් අඩුයි.

අන්ධ භක්තීයෙන්, හෝ අන්ධාණුකරණයෙන් කිසිවක් වැළඳගන්නට පෙර මදක් සිහිබුද්ධියෙන් සිතා බලන්න මිනිසුන් විදියට​ අපි ප්‍රමාදයි, කම්මමැලියි, උදාසීනයි.​ බොහෝ මිනිසුන් ජීවත්වන්නේ උපන්නාට මේ ලොව වැනෙනවා විනා,  තමන් ලද මාහැඟි මනුස්ස භවය පිළිබඳ අබමල් රේණුවක තරම්වත් අවබෝධයෙන් නොවේ. විචක්‍ෂණශීලීව යමක් දෙස බලන්න බැරිතරමට අපේ හිත් වහල් භාවයට පත්වෙලා. අපේ මනස් නිද්‍රාගතවෙලා.  

 මිනිසුන් විසින් නිර්මාණය කරන ලද දෙවියන්ට දේවාල දෙව් මැදුරු හදන මිනිසුන් දෙවියන්ට ගෙයක් දොරක් හදාදී අනතුරුව තමන්ට ගේදොර හරකාබාන ලබාදෙන්නැයි තමන් මැවූ දෙවිවරුන් ගෙන් ඉල්ලති. දෙව්මැදුර තියෙන්නේ තමන් තුළ බවවත්, දෙවියන් වැඩහිඳින්නේ තමන් තුළ ඇති දෙව් මැදුරේ බවවත් අදහන්නට මිනිසුන් අස්මත් ය​. දෙවියන් වැඩහිඳින තැන නොදැන දෙවියන් නොහැඳින මිනිසුන් දෑස්වසා ගෙන ඇවිදිති. පළමුව දෙවිය්න් තමන් තුළ හිඳින බවත්, දෙවිකම අප තුළින් අවදි කරගත යුතුබවත් අවබෝධ වන තුරු මිනිසුන් දෙවියන් දකින්නේ නැත​. 

ජීවිතය පිළිබඳ වගකීම දරන්නට තමන්ට​ පුළුවන්දැයි සිතා අනුන් ගේ බලපෑමට, අනුන්ගේ සිත රිදේයයි බයට කිසිම් දේකට පොරොන්දු, එකඟතා, හෝ අනුමැතිය නොදෙන්නට වගබලාගන්න​. ඔබේ ජීවිතය තරම් වටිනා දෙයක් ඔබට නැත​. මිනිස් ජීවිතයක වටිනාකම කෙතෙක්දැයි මුලින් අවබොධකරගන්නට පසුබට නොවන්න​. වරක් කළ වැරැද්ද සමහර විට මුළු ජීවිතය පුරාවටම වන්දි ගෙවිය යුතු අතපසුවීමක් වුවහොත් විඳවන්නේ ඔබ මිස ඔබට බලකළ​, උනන්දු කළ​, දිරිමත් කළ අය නොවේ. එනිසා ඔබේ උතුම් මිනිසත්බව කෙරෙහි විශ්වාසයත්, වගකීමත් අනුන් ගේ අතට නොපවරන්න.

ලෝකයේ  චිරන්තන ගමන  ගෝලීකරණය ලෙස අපි හඳුන්වනව​. ගෝලීයකරණය යනු එකවර ඇතිවූවක් නොවේ. ඒ කියන්නෙ අහම්බ සිදුවීමක් නොවේ. එය ලෝකයේ මනුෂ්‍ය සහසම්බන්ධතාවල අනුක්‍රමික ගමනකි. විවිධ සමාජ හෝ පාරිසරික සාධකයන් නිසා ඇතම් අවස්ථාවල මේ ගමන වේගවත් වූ අතරම තවත් විටක මන්දගාමී විය​. සමහර  විට  ඒ ගමන අතිධාවන කාරිවත්. වේගවත් ලෙසත්  පුළුල් වූ අතරම පටුවූ අවස්ථාද නැතුවා නොවේ. සුන්දර මෙන්ම දුෂ්කර අවධි පසු කරන්නටත්, එකතැන පල් වෙන්නටත් සිදුවුණානම් එය අරුමයක්ද නොවේ.

මේ මිහිතලය මත ලෝකය පැවත්ම හෝ නැවැත්ම තීරණය කරන තීරණාත්මක සාධකය වන්නේ අපිමය​, එනම් මිනිසාමය​.  සමාජය ඉදිරියට ගෙනයාම සඳහා දායකත්වය දෙනු ලබන නැත්නම් හසුරුවන ප්‍රධාන නියමුවා වන්නේ මිනිසාය​. එනිසා මිනිසුන් විසින් ගන්නා තීරණ ලෝකයේ ඉදිරිගමනට බෙහෙවින් බලපානු ලබයි. එවන් තීරණ වල සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය මත ලෝකයේත් මිනිසාගේත් අන් සියළු  නිශ්චල සහ චංචල භෞතික දේවල පැවත්ම තීරණය වේ. එනිසා මිනිසුන් වශයෙන් අප උපන් රට, අප ජීවත්වන සමාජය  වෙනුවෙන් අපසතු වගකීම කොතෙක්ද යන්න අවබොධකර ගැනීම ඉතා වැදගත් කාරණයක්.

ඒවගේම සමාජයේ ජීවත්වන විට අප අතර පවත්වාගෙන යායුතු සහ සම්බන්ධතා එකිනෙකාගේ පැවත්මට අනුකූලවන පරිදි හසුරුවා ගැනීමට අප උනන්දුවේනම් සමාජය යන මානව සමූහයයේ එකතුව මනාව පවත්වාගෙන යාම කෙරෙහිද සැම මිනිසෙකු සතු වගකීම් සමුදායක් තිබේ.  එකී වගකීම් පොදු එකඟතාවක් මත අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව පවත්වාගෙන යාමට, මිනිසුන් සතු උද්‍යෝගය සහ කැපවීම, කිසියම් සමාජයක ජීවත් වෙන සමාජ ජීවියාගේ මනා පැවත්ම තීරණය වීම කෙරෙහි නිතැතින්ම බලපානු ලබයි.

සමාජයේ සාමාජිකයින් අතර  යහපැවත්ම  සමාජයේ සමබරතාව පවත්වාගෙන යාමට පාදක වන අතරම​, රටක පැවත්ම​, එහි ආයතන වල කියාකාරිත්වය කෙරෙහිද​, රටවත් රටවල් අතර සුහදතාව මෙන්ම​, ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කරගැනීමටද උපකාරී වේ. ගෝලීකරණය අනුව සෑම පුද්ගලයෙක්ම මෙන්ම සමාජයන්, කලාප , රාජ්‍ය ආදී වශයෙන් එකිනෙකා මත යැපෙන්නට සිදුවී තිබේ. එසෙනොවුණහොත් මිනිස් සහ සම්බන්ධතා බිඳ වැටීම වගේම ජාත්‍යන්තර වශයෙන් රාජ්‍යයන් අතර සුහදශීලීබවද බිඳ වැටෙන්නට ඇති ඉඩකඩ වර්තමාන සමාජයේ ඉතා ඉහල මට්ටමක පවතී.

අනවරත තරඟකාරිත්වයත් ආර්ථික ව්‍යුහයේ ඇති කරන ලද වෙනස්කම් වලට අනුගතවීමේදී ජාත්‍යන්තර මෙන්ම ජාතික තලයේ අවශ්‍යතාවලදීත්  සෑම රාජ්‍යයක් වගේම ​ඒ ඒ රාජ්‍ය වල ජීවත් වන ජනතාවත් සමානුයෝජනය වීම අනිවාර්ය  විය​. මේ නිසා ලෝකයේ එක් රටක සිදුවන ආර්ථික​, සමාජ සහ සංස්කෘතිකමය වෙනස්වීම් අන් රටවලටද අඩු වැඩි වශයෙන් දැනෙන්නටත් අත්විඳින්නටත් සිදුවීම අනපේක්‍ෂිත දෙයක් නොවේ.

මල්ලිකා එම් බණ්ඩාර​
   2018




No comments:

Post a Comment