Monday, 13 April 2020

පාස්කු උදෑසන​



දෙව්මැදුර කෙලවර 
පුරුදු දුක්බර මුහුණ
කිසිම වෙනසක් නැතුව 
කටු කොරෝනාවේ
බර දරා හිසමත 
ජේසු තවමත් හිඳී 
ඇණ ගසා කුරුසයේ 

සැබෑ ඔබ දැන හැඳින ගන්නට​
හෝඩුවාවක්වත් තිබේදැයි
කවරයෙන් කවරයට පිටු අතර​
සුභාරංචිය පුරා සෙව්වෙමි
සැබවින් ඔබ දුටිමි. හැඳිනිමි.

සාදයකට පැමිණ​ 
යහලු යෙහෙළියො පිරිවරා ගෙන​
රස මසවුවුළු  ​සමඟ
මධු ශරාවක් ගෙන
දුටිමි සව්දිය පුරනු සතුටින්​ ​

මඟුල හෝ මළ ගෙදර 
හිඳිනු දුටුවෙමි කඳුළ හස ළඟ​
ඒත් ඔබ හිනහුණේ නැති බව
කියති මගෙ නෑ හිත මිතුරු වග​

ගම් නියම්ගම් වල 
දිඹුල් තුරු සෙවන යට​
ඇවිද ගිය ප්‍රීතිමත් මිනිසා
බවුන් වඩනා පිණිස
වනගතව​ එකලාව
අවදි කර​වා නැණ ​
දිව්‍යමයවූ ප්‍රේමය
පසක් කළ​ අප උදෙසා 
දුක් බරය ඔබෙ වත​!

ඉතිහාසය පුරා  ඇණ ගැසූ කුරුසයක​
ඔබෙ මුව මඬළ මත පිළිබිඹු කරන්නට​
මිනිසුන්ගෙ ජීවන බර ​ 
සමඟ​ උන් සෝබර සිත​
දුකින් පිරි උන්ගේ 
අරමුණ වීද​ නොදනිමි

පාස්කුවෙ අභිමන් 
සනිටුහන් කර නොමැත සුරුවම් 
පුහුදුන් තෙළිතුළින් 
කෙසේ දිවමන් වේද​ දෙවිඳුන්? 
ලොව්තුරු හද ගැඹුර​
පිවිතුරු සිතක මනහර​ 
අවලෝකනය කර​
කවුරුනම් විනිවිද දකීවිද​? 

මල්ලිකා එම් බණ්ඩාර​

12. 04. 2020


No comments:

Post a Comment