ඉර දෙයියෝ සැර මකලා අපෙ ගත උණුසුම් කරන්න
සඳ දෙයියෝ කිරි දියරෙන් අපි දෝවා සතපවන්න
වැස්ස වළාහක දෙයියෝ කලට හීන් වැහි එවන්න
මිහිකත අම්මා නිදුකින් දිගු කල් ජීවත් කරන්න
මිහි මඬළේ වන සිව්පාවුන් පණනල රැක දෙවන්ට
පස සරුවී පලබරවන ගහකොළ යහතින් වැඩෙන්ට
ගංගා ඇල දොල කඳු රැළි සම්පත සුරැකිව තියන්ට
නිධන් වදුළ මහපොළොවයි හෙට උපදින දූ පුතුන්ට
කැළේ අයිති වන සතුන්ට මිනිසුන් එළිමහනෙ ඉන්න
හේන කුඹුර රැක බලාන සෙනෙහස පවුලට බෙදන්න
වැට ඉණි මායිම් වෙන්කර විසල් මැදුරුවල හිඳින්න
ඒත් මොහොතකට හැරිලා ඔබ සතුටින් දැයි බලන්න
විසකුරු වග වලස් ගතිය එපා හිතේ
තියා ගන්න
මමායනෙන් මිනිසත්කම එපා පරදුවට තියන්න
ධන බල කුලගොත් පෙන්නා අහංකාර නොවී ඉන්න
පොරබැදුවත් සමාන අඩි හය පමණකි උරුම වෙන්න
මහපොළොවේ වැට කොටු බැඳ සීමාවල් හදාගත්ත
සිරිත් විරිත් අතහැරලා පරදෙස් දේ බදාගත්ත
අහස උසට මැදුරු තනා සොබාදහම මරාගත්ත
නුඹලා රජවරු විහින්ම කොරෝනාව පැළඳ ගත්ත
නුඹලා රජවරු විහින්ම කොරෝනාව පැළඳ ගත්ත
අපිම හදා ගෙන හිරකුටි අගුළු දමා අප අතින්ම
මැරෙණතුරා හිරකරුවන් වුණේ අපේ හිතළු වලට
කුල-මල නෑ දෙස-රැස නෑ ඇති නැති පරතරයක් නෑ
නිදහස මිට මොළවාගෙන ආවත් ජීවිතයක් නෑ
මලක සුවඳ දොලක සිහිල හිතට ගලා ආ බැද්දෙන්
පිටමංවී ලුහුබැඳ ගිය
සිදාදියේ යම යුද්දෙන්
සොබාදහම බියවද්දා ගිනි අවි බිඳෙනා සද්දෙන්
හෙවූ සතුට මිරිඟුවකැයි තේරුණාද සහසුද්දෙන්?
දෙවිකම මියැදිලා ගිහින් ආදම් පරපුරේ උන්ට
කවිකම වියැකිලා ගිහින් සොබා දහම විඳපු උන්ට
ඉණිමං බැන්දා අහසට දෙවියන් ගෙන් පලායන්ට
තැනක් හොයාපල්ලා දැන් වසංගතෙන් බේරෙන්නට
මල්ලිකා එම් බණ්ඩාර
28. 03. 2020
No comments:
Post a Comment