Saturday, 26 September 2020

අම්මා

 

ආකාශ උඩුවියනේ 

හිරු සඳු පහන් දල්වා

තරු මුතු අහුරු ඉහිනා - මගෙ ලොව මැවූ 

දෙවඟනඔබයි අම්මා

 

ළෙහි පෙම් අමා කළතා

ඇකයේ හොවා නළවා  

දිවි කතර මැද මංපෙත් තනා

කෙම් බිමක මා හිඳුවා

ජීවිතය දුන් අම්මා

 

සිඳු ගැබ තුරේ - මුදු මද සිහිල ගෙනෙනා

මිහිමඬළ සේ - දුක සැප දරා හිඳිනා

හද ගැහෙන රාවය - ජීව නාලිය  

මගෙ මිණි කිරුළ අම්මා

 

නඳුන් උයනක සුවය සලසන 

සඳුන් සෙවනක සිහිළ​ දනවන​  

මිණි පහන් වැටසදිසි දිදුළන

මගේ ජීවන විජිතයේ - රාජිණිය අම්මා

 

මල්ලිකා එම් බණ්ඩාර

26. 08. 2020 - 5.25

 

Sunday, 20 September 2020

සිත්තරා - - -


විජ්ජුලී මගෙ පෙම්බරී - අසව මා පිය​ සුන්දරී,

ඈත පිදුරංගල ගමේ

තියා නුඹ තනිමංසලේ 

දුකෙනි තනියම රාජ සේවෙට

සමු අරන් පියමං කළේ 

 

විජ්ජුලී නුඹෙ තුණු රුසිරු බඳ 

නිබඳ සිහිවිණි දිවා රෑ මැඳ

තෙළිතුඩින් ​සිතුවම් වුණේ    ​

නුඹෙ රුවයි සීගිරි ලෙනේ

 

කොතන හෝ වුණ අත් වැරැද්දට​

අච්චු දී දිවි ඇති තුරාවට

දැක්කුවේ මම සිපිරි ගේකට

ප්රේමයට සරදම් කරන්නද?

 

යස ඉසුරු විඳ රජ කුලේ 

රැජින වී මහවාසලේ

නුඹ හිඳින වග ඇසී මා හද​ 

ගිළිහුණා ලෙන පාමුලේ

 

මල්ලිකා එම් බණ්ඩාර

7. 07. 20220

Saturday, 19 September 2020

විල සහ මල​

 මම විලක් නුඹට​ නිල් දිය පිරි

ඉවුර බදන්නට

නුඹ මලක් වෙයන්

විල මැද සුවඳ පුරන්නට

 

ගිමන නිවන මඳ පවනේ

​රඟන විලාසෙට​

රහස් කියයි මුදු දියවර

නුඹෙ කෙහෙ රැල්ලට

 

නීල නයන බමර කුලේ

පහස රැඳෙන්නට

හෙටත් එන්න ටිකිරි නඟේ

වැව් තාවුල්ලට​

 

මල්ලිකා එම් බණ්ඩාර​

1. 09. 2020

 

ජීවිතය​ සහ නින්ද



නිද්‍රාව සුවබරය​

රාත්‍රිය මනහරය

අවදි වී අදිසියෙන්

යළි වැළඳගෙන නින්ද​

හැබෑවට මං නිදිද​?

සිහිනෙන්ම අසන්නෙමි.

ජීවිතය යනු සිහිනයක්

පමණක'යි හැඟුණත්

වැළඳුවෙමු දුක් කඳ ළසෝ ගිනි මැද​

හිඳිමි ඒ සිහිනෙකයි හඟිමින්

නොයමි මංපෙත් අසාගෙන

විසල් කොටු පවුරු බිඳ​

තිගැස්සෙන හැම නිමෙසකදි

විවර කර විමසුවෙමි හිත​

නින්ද එතරම් සුව දැනේනම්

කුමට නම් අවදිව හිඳින්නද​?

දශක ගණනකට පසු

ජීවිතය යනු කිමැයි

ඇසූ මුත් නිදිබර සිතට​

මගේ විමසුම පසක් වී නැත​.

පහය අතහැර නික්ම  යනදා 

ජීවිතය සිහිනෙකැයි හැඟුණා


මල්ලිකා එම් බණ්ඩාර​ 

 20.11. 2020

Thursday, 17 September 2020

තේ දළු නෙළන්නියගේ ගීතිකාව​


 නිදි පැදුරේ හිටි පුංචි පැටව් ටික

පුල්ලේ මඩුවට දොක්කනවා

පුරප්පට්ටුව​ට මොරදෙන​ සංගුවෙ  

ළතෝනියට  අපි ඉගිලෙනවා

 

තේ දළු කහටින් රත් පැහැ අතඟිළි

වැස්සට පින්නට පෙඟෙන වෙලේ

හිනා බිඳක් නැති දෑස් කෙවෙණි යට

දරු දුක දියවී ගලා හැලේ

 

හිරුටත් කලියෙන් අවදිවෙලා

දවස ගෙවන තේ පඳුරු වටේ

ඉහින් කණින් කූඩැල්ලොත් ගොඩවී

ලේ කළඳට වහ වැටුණි අපේ     

 

වේලක් ඇර වේලක්වත් දීලා

දරු පැටවුන් කුස පුරවන්නයි 

අකුරු කරන්නට වරම් නැතුව​ අපි

වැටුණ වලෙන් උන් ගොඩ ගන්නයි

 

තේ කූඩයෙ බර​ උර පතු දැරුවා

ඉසුරුමතුන් ගේ හැඹිලිය​ පුරවා

සොච්චං පඩිපත මිට මොළවාගෙන​  

හූල්ලමින් ලැයිමේ කල් මැරුවා

 

කතිරේ දහදිය සුවඳ රැඳීඇති

නෝට්ටු නැට්ටුවො කරණම් ගැහුවා

පිංකරනා ගරු මහත්වරුනි සොඳ​,

එක කහවණුවත් අපිට වටිනවා

 

මල්ලිකා එම් බණ්ඩාර​

17. 09. 2020

Tuesday, 15 September 2020

පහන් තරුව

සසල කරනා නිසල දියකඳ

විසල් දියඹේ රළ පතර බිඳ

වියරු සුළඟක් වගේ ඇවිදින්

දැවටුණේ කිම මසිත රොද බැඳ​

 

මතක​ තොටමුණ ​ඉමේ පැල් බැඳ​

ගලා ගෙන යන ගමන වළකන​

යළිත් අතහළ අඩවියට වැද​

කරුණ කිම යළි සසර ලවන?

 

දැහැන් ගතවී නිවී යන සිත

හෙමින් කොනහා අවදි කර ගෙන​ ​

පහන් තරුවක් වී දිළෙන්නේ  

ප්රේමයේ අබිමන බිඳින්නද ?

 

මල්ලිකා එම් බණ්ඩාර

15. 09. 2020

 

Sunday, 6 September 2020

මගේ ​කෙවිළිය

 සිහින් මීදුම් වළා දුහුලින් එබී බලානා සේ

කොළ හැළුණු අතු රිකිළි අතරින් ඈත ආකාසේ

අදත් නුඹ මගෙ මතක යායේ පිපෙන්නට සහසේ

ළහිරු මඬලත් සමඟ ඇවිදින් හිඳී හොර රහසේ  

 

තුසර මුතු කැට රැඳුන අතු අග - මුදු කැළුම් නඟනා

නිසල​ නෙතු විල සසළ වෙන්නට​ - මඳ සුසුම් හෙලනා

වසත් සමයක වියා නිම කළ - මගේ ජීවන තණුව ගොළුකළ​

මගේ ​කෙවිළිය අදත් ඇවිදින් විරහ ගී ගයනා

 

මල්ලිකා එම් බණ්ඩාර​

 

6.09. 2020