Thursday, 29 October 2020

වරපට​

 

ජීවිතය යනු සුසුදු නෙළුමකි

දනන්​ නෙතු අග සිනා කැන්දන   

ලොවක් නළවා පරව යන මුත්  

පිපී හිනහෙන නෙතට රසඳුන 

සිහිල් පවනේ මතක​ රන්දන​

සුවඳ දෙන මනකල්


සොයන මුවරද බමර බිඟු රොද​

නිබඳ ලොබ බැඳ හඹා යන සඳ 

මුකුලිතව යන සැඳෑ යාමෙක​

සුවඳ මතකය​ ඉතිරිවනු ඇත ​ ​


පියාපත් හැඳි සලා ඉගිලෙන මෙරුන් රෑනක් දවා අළුවන නිමක් නැති සිත ඉපිද මිය යන

නිවී දැල්වෙන යළි නිවීයන

නුරාවේ ගිනිදැල් 


නොතිත් ආශා දැලෙහි දැවටී

නිතොර සරණා සසර අරණේ

ජීවිතය යනු අරුමයක්මය​

මුවන් සේ වර පටින් බැඳෙනා


මල්ලිකා එම් බණ්ඩාර​ 


20. 10. 2020


Wednesday, 28 October 2020

දෙවිඳුන් සොයා

 


පුරා ගම් බිම් දනව් පීරා

සරා ගස් ගල් කඳු සිඛර බද​

වැඩ​ හිඳින වග කී ඉසව්වක​

අසපු කුටියක ​නෙළූ පිළිමෙක  

සොයා ආවෙමි නිමාවක් නැති 

වන්දනා ගමනේ...


ගඟක පව් මළ දොවා හරවන

පුද බිමේ මල් පහන් දල්වන 

රුක්ඛ මූලෙක බවුන් වඩනා

ඔබේ නිකැළැල් වත දකින්නට​

නිබඳ නෙත රැඳුනේ


​නොහැර දොරගුළු මගේ සිත් ලෙන

නොදැන ඔබ මා තුළ හිඳින වග

රැඳී සිටියෙමි ද්වාර අබියස

සමිඳුනේ මා දිගු කලක සිට​

අවිදු අඳුරට එළිබිඳක්සේ

සසර සයුරට පාරුවක් සේ 

එතෙර වෙන්නට ඝෝර රළපතරින් 

මඟ කියා දුන් මහා කරුණාවෙන්

කිමද සමිඳුනි මේ තරම් දුර මනෝමයවූ කිඹුල්වත් පුර ?


පහන් තරුවක් සේ නිලම්බර උදාවී බෙත්ලෙහෙම් ගම් දොර ප්‍රේමයේ සුබ අස්න කියවූ ස්වාමිදරුවූ ජේසුනේ

වඩිනු මැන නිදුකානනේ


දෙව් මැඳුර වැද​​​​ පුද පඬුරු ගෙන

දෙනෙත් අඳ අප සිපිරිගෙයි ලන

මුසා තෙපලන ඇදුරු කැලගෙන්

මුදාගන්නට කාලයයි

 මල්ලිකා එම් බණ්ඩාර​

28. 10. 2020



Tuesday, 27 October 2020

මතක රැහැන​


බැබිල මල් හිනාවෙන කුඹුක් වැටියේ හෙවන​

මිදෙල් මල් වියන යට හෙමින් පියමං කරන​

නුඹෙ ඇඟිළි අග වෙළී ඇවිද ගෙන ගිය ගමන​

හිඳී සිතුවම් පලකයක් වගේ බොඳ නොවෙන


අම්මා මෙලොව අතහැර ගියදා සේම​

සිහිවෙයි හිටිය දාටත් වැඩියෙන් තාම​

බිම ඇද වැටී නැඟිටින්නට බැරුවාම​

නුඹෙ මුදු වදන ඇති 'නැඟිටින්' කීවාම 


වින කළ උගුල් ඇටවූ උන් දුටුවාම 

තාමත් බිය දැනේ නුඹ ළඟ නැතුවාම​

රහසක් සඟවන්න ළිඳකට දැමු සේම​

නුඹ මෑතක නොමැති කම දැනුණා බෝම​


දිව බොජුනක මිහිරදී සැතපූ මාව 

නෙක රස නහර පිනවා දිවගෙහි ගෑව

රස මසවුලක සුවඳක් සුළඟට යාව 

තාමත් හිදී නුඹෙ මුලුතැන් ගෙයි  ගාව​

මතකය  සඳුන් තුර සේ නව​ දළු ලෑම

​සෙනෙහස වියෝවක  අතු අග පීදීම​

​චිතකය වගේ ගිනි දැල් හිත වෙළුනාම

සිත කය නොමැති අවකාසෙක මම තාම​


මල්ලිකා එම් බණ්ඩාර​


7.02. 2020


Wednesday, 21 October 2020

සන්නාලියගේ තීන්දුව​



අතේ පිච්චිය නැතුව​

ඇවිල්ලා සෙයිලමට​

මැෂින් කටු පෑගුවේ

අපේ නැති බැරිකමට


තොග ගණන් හීන කඳු

නැඟී අහසක් උසට

අටෝරාවක් පැතුම්

තිබුණි අපටත් එමට​​


දහසින් බැඳි පියළි

එක්ක ගොඩ මඩ යාව​

නැතිකමට​ ​දිවා රෑ

දුෂ්කර ක්‍රියාවෙන්

පැක්ටරියෙ ජීවිතය 

විකුණුනේ සිල්ලරට​


ඇමති රජ දරුවන්ට​

යස ඉසුරු ගලනවා ​

වැහි අකුණු වසංගත 

අපෙ හිසට එළනවා


කොරෝනා රැල්ල පෑගිලා

ඇඟලුම් හලට​

කැකිල්ලේ තීන්දුව​   

ඇවිත් ගේ දොරකඩට​


‘රිසවේසමේ’ කොනක 

ලහක වපසරිය ඇති 

බූදලේ අටෝගත්

අපේ ටකරන් මැදුර 

රාජසන්තක වෙන්ට

'ඇස්කිරිසි' ගහනදා


මමත් ‘අර ඇතින්නක්’ කළහාම

​මගේ කිරිදරු කැළත 

ගෙනැල්ලා දානාවා සහතිකයි 

ආරාම දොරකඩට​. 


මල්ලිකා එම් බණ්ඩාර​

21. 10. 2020







Friday, 16 October 2020

අවලාද

 

ගිරා පැටික්කී ...

මී බිඳු සවණ පුරන්නී 

දැක්ක​ දා ඉඳන් 

මගෙ හිත ආල වඩන්නී


තුන් දොහක් ඇවිත්

පිල මත හීල්ලුවා මං

තුන්හිතින් නොපැතු ලෙස

නුඹ වෙනස් වෙලා දැං 


බකුසු හ​ඬ මිසක් නැත 

මිණි කිකිණි සැළන්නේ

මගේ දෑස් මඟ ඇර ඇයි

ඉවත බලන්නේ 


වළාපෙළක් ඇවිදින්

මඟ හරස් වුණාදෝ 

මුලාවෙලා ළා සඳවත  

මුවා වුණාදෝ


තුන්‍ යමේ කිම්ද නෙතු යුග 

නින්ද වරන්නේ

මගේ හිතත් මටමයි  

අවලාද නඟන්නේ 


 මල්ලිකා එම් බණ්ඩාර​


16.10.2020

Tuesday, 13 October 2020

සැබෑ ප්‍රේමය​!

 

ඉර ගිළීලා ඈත සයුරේ

​තඹ දියර ඉස සැඳෑ අහසේ

සඳත් කඳු මුදුනින් එබෙන්නට

​පමා වෙන්නේ ඇයි?

 

බිඳෙන රළ පෙළ වෙරළ  වැළපෙයි ​  

හුදකලාවෙන් සිත සසළ වෙයි 

අඳුර එයි දසතින් ගලා

සිහින් ඉකිබිඳුමක් වෙලා  

 

ඇසුනු  පසතුරු  නද​ සරින් 

සුබ පැතුම් වියැකී ගිහින්

බිඳී ගිය මල් තොරණ පාමුල​

මා පමණි හැම​ සමු අරන්!

 

වෙළී ගොම්මන් පාළුවේ 

ගිළී මියැදෙන්නට කලින්

සබඳ ඉරබට තරුව වාගේ

පිපියන්  මේකුළු දැලින්

 

මල්ලිකා එම් බණ්ඩාර​

13. 10. 2020