පුරා ගම් බිම් දනව් පීරා
සරා ගස් ගල් කඳු සිඛර බද
වැඩ හිඳින වග කී ඉසව්වක
අසපු කුටියක නෙළූ පිළිමෙක
සොයා ආවෙමි නිමාවක් නැති
වන්දනා ගමනේ...
ගඟක පව් මළ දොවා හරවන
පුද බිමේ මල් පහන් දල්වන
රුක්ඛ මූලෙක බවුන් වඩනා
ඔබේ නිකැළැල් වත දකින්නට
නිබඳ නෙත රැඳුනේ
නොහැර දොරගුළු මගේ සිත් ලෙන
නොදැන ඔබ මා තුළ හිඳින වග
රැඳී සිටියෙමි ද්වාර අබියස
සමිඳුනේ මා දිගු කලක සිට
අවිදු අඳුරට එළිබිඳක්සේ
සසර සයුරට පාරුවක් සේ
එතෙර වෙන්නට ඝෝර රළපතරින්
මඟ කියා දුන් මහා කරුණාවෙන්
කිමද සමිඳුනි මේ තරම් දුර මනෝමයවූ කිඹුල්වත් පුර ?
වඩිනු මැන නිදුකානනේ
දෙව් මැඳුර වැද පුද පඬුරු ගෙන
දෙනෙත් අඳ අප සිපිරිගෙයි ලන
මුසා තෙපලන ඇදුරු කැලගෙන්
මුදාගන්නට කාලයයි
මල්ලිකා එම් බණ්ඩාර
28. 10. 2020
No comments:
Post a Comment