Sunday, 28 March 2021

ඇමතුමක්

 




වැලි බතින් දැන හැඳින​  එකම ගම් තුලානේ 

කෙළිදෙළෙන් හැදී වැඩුණෙමු සොඳුරු පුරාණේ

කඳුළු හස කැකුළු මල් පිපි යොවුන් විමානේ සොයා ගිය සුයාමය ළඟය අප නැවතුනේ

 

කන්ද පුරහා ඇන්ද ඉඳුනීල පසු බිමේ 

තෙළි තුඩින් සිතුවම්ව​ මතක පලකය ඉමේ 

ඉන්ඳ්‍රඛීලයක් සේ නිසසලව රැඳි ළැමේ

මිතුරුදම ඉතුරුවිය​ උතුරු ළෙන්ගතුකමේ


මිදෙල් මල් වියන් යට ඇළ ඉවුර දෙණිපෙතේ

දොඹ කරඳ තුරු සෙවන ගිම් නිවූ මාවතේ

කාලයේ වැලිතලා යටින් වෑහෙන ගලා 

මතක නිල් දිය දහර​ යළිත් උල්පත් වෙලා! 


සපු දුනුකෙ සුවඳ යායේ දසත ඉහිරිලා   

ළතණ බුමුතුරුණු මත ​රන්හුයෙන් වියවිලා

නුඹ ඇවිත් ළමා වියෙ දොරට යළි සන් කළා

දසක ගණනකට දිව ​යන්න​ අත් පටලලා




මල්ලිකා එම් බණ්ඩාර​


28. 03. 2021


Monday, 22 March 2021

කතර

 


හිතක වෙලුණ ගිනි මුවවිට බැඳිදාක                           

ගඟක කඳුළු වියලන්නට බැරිදාක

වතක සිනාවේ උල්පත සිඳිදාක​

කතක කෙසේ උහුලා ගන්නද ඒක?     

                       

ලොවට හිරු මඬළ ගණඳුරු දුරලාය​

හිසට කැණිමඬළ සුරැකුම් සලසාය

මහරු බලකොටුව රුපුනොද බිඳලාය

පියෙකු දිවි අරණ මැද සිහ රජිඳාය​                                    

 

සඳ තරු නිවී ගිය කළුවර පෝ දාක

මහ ගණ කරුවලේ වල්මත් වුණ දාක ​

සීතල පාළු කතරක තනිවුණ රෑක

වැළහින්නක වළප ඇහුණද කිසිදාක? 

                          

මල්ලිකා එම් බණ්ඩාර

21.03.2021



 


Thursday, 18 March 2021

​ මියුලකගෙ යැදුමක්

 


මුදු රළ පතර සේ ජන සිත් නළවාන

තුරුලිය වන ගහන රැක්මට මොරගාන

මිහිලිය සනසන්න දැයටම හඬගාන

ඉඳුනිල් මිණකි දිනු මිහිමත රක්වාන​

 

ලක’ඟන සිරස සරසන්නට මනරාම

මිල කළ නොහෙන​​ හෙල දෙරණම බබලාන ​ ​

යදිනා මියුල​, නෙතකඳුළක් උතුරාන

නුඹ​ නම් නිලකි හෙල දෙරණට අභිමාන

 

ගවරැල මඩ කඩිති මැද පාරම් බාන

අභිසෙස් කරති පළඳාගෙන​ අභිදාන

ගොම රිටි මතුවෙලා යටකොට තිරිවාන​

නිජබිම උලාකති පොදිබැඳ​ වරදාන

 

වියැකී සිඳී යන නිල් දිය සීරාය​

පිළිසරණක් නොමැති වන සීපාවාය​

නියරත් වැටත් හවුලේ කෑ කල යාය

අවනඩුවක් ඇතත් මුව දොරගුළු ලාය


ඇගෙ එළිදරව්වෙන් කාගෙත් ඇස් ඇරිය 

අගමුල දැන හැඳින ගැටලුවෙ  වපසරිය 

පිළියම් සොයන්නට පවුරක්වී දිරිය 

රැකගතයුතුව ඇත මේ දිරිමත් දැරිය​

 

වැහි බිම​ සිහරාජ අඩවිය කළඹාන

සිහරැජිනක හඬයි ළෙහි දුක තෙරපාන​ ​

කොළොම්පුරේ වැජඹෙන මහ​ රජිඳාන

සවන් දෙන්න ජනගත​ ​  දුක හඳුනාන

 

මල්ලිකා එම් බණ්ඩාර

16. 03. 2021

Wednesday, 10 March 2021

දුවට හසුනක්...


කියෙව්වා ලියමන​

අකුරු වැල්වී ගිළිහුණ

ගැහැණියකගෙ බිඳුන

හිත දුටිමි ඉහිරිලා සැම තැන​


හිතුණා මට මෙහෙම​;

“දූපතේ වැසියෝම​

ගිරිය පුප්පා තෙපලන​

බුදු සසුන බැබලෙන​

ලොව එකම උතුම් රට​

ශිලා යුගයේ ලෙනක

දොරකඩ හිඳී තාම”.​


ඉස් ගෙඩිය කොදෙව්වකි

හිතත් කුණු පොල්ගෙඩියකි

ලොවට පම්පෝරිය

ඒත් ගෙදරට?


සංස්කෘතික යදමෙන්

දෑත දෙපයම වෙළලා

ලවා බරු  ලාඩම් මා මුඛවාඩම්

සෙක්කුවේ බැඳ නුඹව ​

දැක්කුවේ මීදෙනක විලසින​


දැරිය​, තරුණිය, මැහැළිය

කුල ගෙයට විණි වහළිය​

තටු කැපූ පරෙවිය​

පියාඹන්නට නුඹට​ අහිමිය​


අනුන් ගේ තණුවට

ගී ගයන ගිරවිය

උරුම නිදහස ගැන​ 

ගොතාපන් අභිමනේ සැහැලිය​


දෙපාමත හිට ගෙන​

සිරස ​කොඳු ඇට රෑන​ නොනමන

සෘජු උරිස නොසලන​

සුරුවිරු සෙබළියක ​මෙන්

අහිමි ​දේ ලුහුබැඳ​

නඟාපන් දිනක​ ජය කෙහෙළිය!


මල්ලිකා එම් බණ්ඩාර​

9.03. 2021


Monday, 8 March 2021

කාන්තා දිනය


ගම්මැද්ද කෙලවරේ, සමාගම් මඩුවේදි

ගමේ මහිලා සමිතියෙන් 

"කාන්තා දිනේ" සමරන වෙලේ 

උස් අසුන් හොබවන​

අපේ අයිතිය ගැනම දොඩවන​

ගරු සභාපතිනිය

පුරුෂාධිපත්ත්‍යයට එරෙහිව

ලියා දුන් සටන් පාඨය කියා

යාන්තං ගෙදර පය ගැහැව්වා


යාළුවෙක් ගතු කියා 

තවත් වඩියක් පොවා 

කුපිත කර මඟ දිගේ 

එවපි නාලාගිරි ඇතා! 


හතරගාතෙන් ඇවිත් පිල්කඩට 

පරුස වචනෙන් අමතලා කදිමට​​ 

පුරුෂයන් අභිබවා නොයන්නට 

කියාදුන්නා පාඩමක් අඹුවට​


ඉදිමෙන්ට​ දෙතොල් පට 

බිඳෙන්නට ඉල ඇට 

දෙකම්මුල් හිරි වැටී  

පුංචිදා බීපු කිරි සිහිවෙන්ට​

නෙලුවාය අපෙ ගෙදර පුරුසයා

විරෝධාකල්පයෙන් මිදෙන්නට​ ​


තියා දකුණත ඇඟිලි මුද්‍රාව 

රත්වණින් නිල් ​වණට

කොපුල් තල​ පුරහාම.​

හුස්ම ගන්නත් බැරුව

දම්පැහැව පැවතුණා සතියක්ම නැහපුඩුව​


නිදි යහන රැඳෙන තුරු

ම් සුවය විඳින​ තුරු

රාග වෙර සිඳෙන තුරු

ඇතුගෙ දළ බිඳෙන තුරු

උන් අපේ  මහත්තුරු!


තවත් වසරක් ගෙවී

උත්සවත් ශ්‍රීයෙන්

සිදාදියේ නෝනලා

ඉර නැඟෙන යාමේ පටන්

පොර ටෝක් දෙන දවස,

ගැහැණියට සමතැන!​ වැටුප් රැකියා සුදුස්සාටම!​ ලිංග බේදය නොතකන තව්තිසාවකි අපේ දිවයින​

එළඹුණා අදත්අප කිරුළු පළඳින​

"කාන්තා දිනය" නම්සොඳුරු දින!


 මල්ලිකා එම් බණ්ඩාර​


8. 03. 2021