Thursday, 18 March 2021

​ මියුලකගෙ යැදුමක්

 


මුදු රළ පතර සේ ජන සිත් නළවාන​

තුරුලිය වන ගහන රැක්මට මොරගාන​

මිහිලිය සනසන්න දැයටම හඬගාන​

ඉඳුනිල් මිණකි දිනු මිහිමත රක්වාන​ ​

 

ලක’ඟන සිරස සරසන්නට මනරාම​

මිල කළ නොහෙන​​ හෙල දෙරණම බබලාන ​ ​

යදිනා මියුල​, ​ නෙත​ කඳුළක් උතුරාන​

නුඹ​ නම් නිලකි හෙල දෙරණට අභිමාන​

 

ගවරැල මඩ කඩිති මැද පාරම් බාන​

අභිසෙස් කරති පළඳාගෙන​ අභිදාන

ගොම රිටි මතුවෙලා යටකොට තිරිවාන​

නිජබිම උලාකති පොදිබැඳ​ වරදාන​

 

වියැකී සිඳී යන නිල් දිය සීරාය​

පිළිසරණක් නොමැති වන සීපාවාය​

නියරත් වැටත් හවුලේ කෑ කල යාය​

අවනඩුවක් ඇතත් මුව දොරගුළු ලාය


​ඇගෙ එළිදරව්වෙන් කාගෙත් ඇස් ඇරිය 

අගමුල දැන හැඳින ගැටලුවෙ  වපසරිය 

පිළියම් සොයන්නට පවුරක්වී දිරිය 

රැකගතයුතුව ඇත මේ දිරිමත් දැරිය​

 

වැහි බිම​ සිහරාජ අඩවිය කළඹාන​

සිහරැජිනක හඬයි ළෙහි දුක තෙරපාන​ ​ ​

කොළොම්පුරේ වැජඹෙන මහ​ රජිඳාන​

සවන් දෙන්න ජනගත​ ​  දුක හඳුනාන​

 

මල්ලිකා එම් බණ්ඩාර​

16. 03. 2021

No comments:

Post a Comment