කියෙව්වා ලියමන
අකුරු වැල්වී ගිළිහුණ
ගැහැණියකගෙ බිඳුන
හිත දුටිමි ඉහිරිලා සැම තැන
හිතුණා මට මෙහෙම;
“දූපතේ වැසියෝම
ගිරිය පුප්පා තෙපලන
බුදු සසුන බැබලෙන
ලොව එකම උතුම් රට
ශිලා යුගයේ ලෙනක
දොරකඩ හිඳී තාම”.
ඉස් ගෙඩිය කොදෙව්වකි
හිතත් කුණු පොල්ගෙඩියකි
ලොවට පම්පෝරිය
ඒත් ගෙදරට?
සංස්කෘතික යදමෙන්
දෑත දෙපයම වෙළලා
ලවා බරු ලාඩම් දමා මුඛවාඩම්
සෙක්කුවේ බැඳ නුඹව
දැක්කුවේ මීදෙනක විලසින
දැරිය, තරුණිය, මැහැළිය
කුල ගෙයට විණි වහළිය
තටු කැපූ පරෙවිය
පියාඹන්නට නුඹට අහිමිය
අනුන් ගේ තණුවට
ගී ගයන ගිරවිය
උරුම නිදහස ගැන
ගොතාපන් අභිමනේ සැහැලිය
දෙපාමත හිට ගෙන
සිරස කොඳු ඇට රෑන නොනමන
සෘජු උරිස නොසලන
සුරුවිරු සෙබළියක මෙන්
අහිමි දේ ලුහුබැඳ
නඟාපන් දිනක ජය කෙහෙළිය!
මල්ලිකා එම් බණ්ඩාර
9.03. 2021
No comments:
Post a Comment