ගම්මැද්ද කෙලවරේ, සමාගම් මඩුවේදි
ගමේ මහිලා සමිතියෙන්"කාන්තා දිනේ" සමරන වෙලේ
උස් අසුන් හොබවන
අපේ අයිතිය ගැනම දොඩවන
ගරු සභාපතිනිය
පුරුෂාධිපත්ත්යයට එරෙහිව
ලියා දුන් සටන් පාඨය කියා
යාන්තං ගෙදර පය ගැහැව්වා
යාළුවෙක් ගතු කියා
තවත් වඩියක් පොවා
කුපිත කර මඟ දිගේ
එවපි නාලාගිරි ඇතා!
හතරගාතෙන් ඇවිත් පිල්කඩට
පරුස වචනෙන් අමතලා කදිමට
පුරුෂයන් අභිබවා නොයන්නට
කියාදුන්නා පාඩමක් අඹුවට
ඉදිමෙන්ට දෙතොල් පට
බිඳෙන්නට ඉල ඇට
දෙකම්මුල් හිරි වැටී
පුංචිදා බීපු කිරි සිහිවෙන්ට
නෙලුවාය අපෙ ගෙදර පුරුසයා
විරෝධාකල්පයෙන් මිදෙන්නට
තියා දකුණත ඇඟිලි මුද්‍රාව
රත්වණින් නිල් වණට
කොපුල් තල පුරහාම.
හුස්ම ගන්නත් බැරුව
දම්පැහැව පැවතුණා සතියක්ම නැහපුඩුව
නිදි යහන රැඳෙන තුරු
කම් සුවය විඳින තුරු
රාග වෙර සිඳෙන තුරු
ඇතුගෙ දළ බිඳෙන තුරු
උන් අපේ මහත්තුරු!
තවත් වසරක් ගෙවී
උත්සවත් ශ්‍රීයෙන්
සිදාදියේ නෝනලා
ඉර නැඟෙන යාමේ පටන්
පොර ටෝක් දෙන දවස,
ගැහැණියට සමතැන! වැටුප් රැකියා සුදුස්සාටම! ලිංග බේදය නොතකන තව්තිසාවකි අපේ දිවයින
එළඹුණා අදත් අප කිරුළු පළඳින
"කාන්තා දිනය" නම් ඒ සොඳුරු දින!
මල්ලිකා එම් බණ්ඩාර
8. 03. 2021
No comments:
Post a Comment