Thursday, 6 October 2022

තනිවූ අල්තාරය​

 ඇදිලි බැඳගෙන දෙවිඳු පාමුල

හෙමින් මිමිණෙත​ යාතිකාවක්

ඉටිපහන් සිළ මඳ අඳුර බිඳ​

ගයත නිසසල​ ගීතිකාවක්

 

ඉහිරිලා ගිය​ රුහිරු ලෝහිත

මිදුණු අල්තාරයේ මුදුනත​

දොවා ලන්නට හැකිද කවදා

ගලා හැලෙනා කඳුළකින් නෙත​

 

දෑත දිගු කර අපව කැඳවා 

බලා හිඳිනා කුරුස ගහ මත​  

මුදාහල මැන සමිඳ අප වෙත​

ප්‍රේමයේ අති පරම​ උල්පත​

 

දෙපා යුග බැඳි බැමි සිඳෙන්නට​

හඬන වැළපෙන සිත් නිවන්නට​

වතක හසරැල් මල් පිපෙන්නට​

සමිඳ පුදසුන වෙතට සපැමිණ

පූපයක්වී නිවන් මා සිත​ 


මල්ලිකා එම් බණ්ඩාර​

21. 04. 2022

Monday, 3 October 2022

නෙත් කොණින් බලා

 

සිත් දැහැන සසලනා

චල නෙත් කොණින් බලා 

සවණ නුරා ගී තවරණ​

මත් කෙවිල්ලියේ

 

බිඟු දැල් පවන් සලනා   

 දැවටෙන්න​ මල්‍ රැහැණේ  

මදිරා පිරූ උද්‍යානයයි 

නුඹ මන්ද හාසිනියේ


සඳ කිරණ කළතනා

විල් තෙරේ දැවටෙනා  

රළ පතර​සේ  දොවන  මා සිත​  

සොඳුරු පිය ළඳේ


වන පෙතක තනිවෙලා

මඟ නොදැන මංමුලා    

නුඹ අරුන්දතී  තාරකාව  

 පාර කියා දුන්  



මල්ලිකා එම් බණ්ඩාර​ 

 16. 08. 2022

 

බාල වියේ කුමාරියේ

 

සේපාලිකා මල් අහුලා

ඉහිරුණ සුදු වැලි තලයේ

ගොතා නුඹේ ගෙල පැළඳූ

මල්දම කෝ සුරතලියේ

 

ඉරටු කෑලි වල අමුනා

පැළඳූ කොස් කොළ ඔටුන්න

නුඹේ විජිතයේ රජකම

තවමත් උරුමද කියන්න

 

ලෝල වඩන මුදු වදනා

සඳුන් අඳුන් සිත තවනා

ගිළිහී ගිය හිත නිවන්න​

සිනා පොදක් එවාපන්න

 

නේක ඉසුරු පිරිවර මැද

බරවුණ හිත පහන් වෙන්න

බාල වියේ කුමාරියේ

යළි මගෙ ලෝකෙට වඩින්න

 මල්ලිකා එම් බණ්ඩාර

12. 02. 2022

තල්පතක් ළඟ පන්හිඳක්

 

තරු කැකුළු මල් පිපෙන යාමේ

අඳුරු සළුවෙන් වසා සියොළඟ

කඳු සිරස නිදි සුව සොයද්දී 

ළපටි සඳපත සදිසි නුඹෙ වත

මද සිනා නැඟුවා

 

නීල මිණිකැට වගේ දිළියෙන

යාන්තම් අඩවන් නුවන් අග

ලිහී ඉහිරෙන ගීතයක පද

තල්පතක්වූ පන්හිඳක් ළඟ

මගෙ නෙතේ ලීවා

 

බිඳෙන දුනුදිය අගින් ගිළිහී

මිදෙන ඊතල පෙළක් වාගේ 

මගේ හදගැබ පතුළ ඇමිණී

සුවහසක් සිතුවිලි වෙලාගෙන

නුඹ හෙමින් ආවා

 

මල්ලිකා එම් බණ් ඩාර

26. 08. 26

Sunday, 2 October 2022

නිදහසේ සුසානය

ශුද්ධ භූමියක සේ පියෙන් පිය ඔසවා

මහත්වූ ස්නේහයෙන් මහ පොළොව සිප ගතිමි

කාලයේ කුරිරු බව​වහන් වෙන්නට නොදී

නැහැපුඩුව තෙරපාන පිවිසුනේ

නැවුම් සුවඳක් නොවේ

 

අකල් වැහි කුණාටුව කරටියෙන් බිම හෙලූ

සෝ සුසුම් කඳුළු දහදිය මුඟුරු වපුරාපු

යොවුන් දූ පුතුන් ගේ ලේ සුවඳ උරාගත්

රත් පැහැති පස් කඳුය නිම්නයේ දැවටුණේ

 

හිරිගඩු පිපෙද්දී​ දකුණු දෙස මිහිතලය

ලවණ රස​ රළ බිඳෙන​ උතුරුකරයේ වැල්ල

දස අතේ විසිර ගිය බිඳුණු ඇටකටු කැබෙලි

පැටළුණා සවන් තල​ යදින යාදිනි සැහැළි

 

දසක ගණනක් පුරා දැයක් ගොඩනඟන්නට

වෙර දරා දිවි පිදූ යොවුන් දූ පුතුන් ගේ

අවසාන නවාතැන සමාදානයේ වැද හොවින්නට​

ඉඩ හසර නැති කමින් නඟන හඬ

පව්කාර මිනිසුනි නෑසිණිද​​ නුඹලාට?

 

 මල්ලිකා එම් බණ්ඩාර​

1. 10. 2022