Monday, 13 February 2023

ජවය​

 

මනෝ මන්දිර ඉදිව බිඳුනත්

පෙණ බුබුළු විලසින්

ලෝකයක් ගොඩ නැඟෙනු කෙලෙසද

සිහිනයක් නැති නම්?

 

රළ පතර වැද වෙරළ සිඹිනා

වැලි තලා අතරින්

තැනූ මාළිග දියව යද්දී

එක් අසුරු සැණෙකින්

 

පාදමේ සිට නැවත නැවතත්

නව මුහුණුවරකින්

තවත් පහයක් ගොඩ නඟන්නට​

හිතට​ දිරි ඇතිනම්

හඬා වැළපී වුණත් කම් නැත

යළි නැඟී හිටපන්!

 

බිඳුණු පහුරත් කැඩුණු හබලත්

දියඹ වෙත යානම්

නුඹම ඔරුවක් වෙලා වෙරළට

එන මඟක් හිතපන්!


උරුම​ නටබුන් අතර කුරගා

විසුල කැට කැබිලිති ඇහිඳ ගෙන

 දෙපා මත නැවතත් හිඳින්නට

ජවය නුඹ පමණක්ම වීනම් 

තැනූ නිමැවුම් ජීවමානව

හිඳියි නුඹ පසෙකින්!

 

මල්ලිකා එම් බණ්ඩාර​

11. 02. 2023

No comments:

Post a Comment