Saturday, 5 August 2023

ආගන්තුකයා


සුබපැතුම් මල් පොකුරු හිමි නැති

උපන් දින සංවත්සරද​​ නැති

සියළු ධන ඍණ නාභි ගත කළ

චුම්භකය​ ​ මා බව නොදන්නැති

 

සිප් සතර ගුණ අගුණ තෝරා

දියෙන් කිරි වෙන්කර පොවන්නැති

ළැමත් පුදලා ළයත් පිදූවෙමි

උරුම ලද්දෝ කොහිද නොදනිමි

 

වපුළ කුස තණ පල දරනදා

කවුරු හෝ අස්වනු නෙළන්නැති 

වදත් බැඳලා පැණිත් පුරවා

දුන්නු මා අමතකව යන්නැති

 

මඟ හැරුණ මතකයන් අවදිව

හුදකලාවූ සැඳෑ සමයක

මාහැඟිම දේ ගිළිහිලා බව

ජීවිතය තුළ පසක්වනු ඇත  


මිහිදනට හත් අට දෙනෙක් ඇති

ගුණ ගැයුම්  ක​ඳුළැලි සුසුම් නැති

නිහඬවම මට යන්ට දේනම්

ඒ තරම් බුහුමණක් තව​ නැති


අහඹුවෙන්  හමුවී එක්ව හිඳ වෙන්වන 

නුඹ තබා මමවත් හරි හැටි නොදත් මා ගැන 

ඔබ දතයුතු වෙතැයි නොඅදහමි

මන්ද, අපිදු ආගන්තුකයෝ වම්හ

​.

මල්ලිකා එම් බණ්ඩාර​

5. 08. 2023

No comments:

Post a Comment