අතැහැර හිත කොනක සැඟවුණ අභිමානේ
ඉවකර බලා ලෝදහමට බැඳි ආලේ
සැඟවී ඇති සැබැව අත නොපොහොන මානේ
තිරකර කියනු ඇත නුඹ සඟවන හීනේ
දෝතට වැඩි දිනේ නුඹ අතමිට මොළවා
සවණත නිනද දිණි රන් රසු දැල් සොලවා
මා සිත සුවහසක් දෙව්ලෝ සුව එළවා
මාපුත ලොවම එක බැල්මක්සේ බැලුවා
පිටුවෙන් පිටුව හැඩකර නෙත දොවා මිණි
ජීවිත කතාවක් නුඹ මට කියා දුනි
ඉදිකළ මැඳුරු ළෙහි මඬළෙහි නඟා හිණි
මනරම් සිහින යළි මිහිමත දිගාවුණි
සීතල දිය කඳුර මහ නදියකට හැරී
උල්පත අතරැ ඇදෙනා ජල තලය පිරී
දළ රළු ගිරි සිඛර පසුකර දරා දිරී
නුඹ යන මඟට මල් පියවිලි මුදා හරී
පැතුවේ කිරුළු පළඳන්නට පමණි හිසේ
ගෙතුවේ හස කැකුළු සුවඳින් පුරන ලෙසේ
අටුකොටු පුරන අස්වනු පල දරන දෙසේ
කමටහනක් වෙලා මගෙ දෙසවනට ඇසේ
මල්ලිකා එම් බණ්ඩාර
8.09. 2022
No comments:
Post a Comment