Friday, 29 March 2024

අකාල දෝස​


සිරිපොද වැස්ස ගල් අරඹට වැටුණාය​
පිය ඇත් රජිඳු පය පැකිලී වැටුණාය​
යල මහ කන්න නියගේ කර දැවුණාය​
හිස් මැටි වළං දැක කුසපොතු ඇළුණාය​
 
පතුළේ කටු පිළිල කරගැට පිරි දෑත
වැර වීරියෙන් සෙක්කුව නොළිහා මෑත​
අටු කොටු පිරෙන මුත්​ මැදුරක දුර ඈත​​
පෑගෙන තැළෙන උන්ගේ නොපිරෙයි දෝත​
 
මහ රජ මැති ඇමති සිටුවරු බලකාය​
උරිනුර ගැටී කඳවුරු බැඳ රට කෑය​​
අයකැමි වණික් කහවනු ගැල ගිලලාය​
පත්තුව බඳී පිටිකර පය බරවාය​
 
ගිළිහී හාමතේ දියවුණ ඇට මිදුළු
පතලේ පසට එක්වන දහදිය කඳුළු
දිළිහී කැටි ගැසෙයි රතුකැට සේ දිදුළු
අභිමානයෙන් රජවරු පළඳති කිරුළු 
 
මහ පෙරහරින් වප් මඟුළට කැන්දාන 
සහ පිරිවර ගයති ගී ගිරි පුම්බාන
පුද උපහාර මැද කොඩි කුඩ බන්දාන​
සෙද බල පවිටු බොහොඬුන් පෙලහර පාන
 
මල්ලිකා එම් බණ්ඩාර 
6. 09. 2023
 

Sunday, 24 March 2024

පෙර මඟ​


සඳට රන් තාරකා

සදිසි කිරි දරුවනේ

එනතුරා - මඟ බලා

සිහින පොදියක් බැඳන්

මා අදත් ඉන්නවා

 

සිනා යායක් මවා

කියන හුරතල් කතා

ඇහෙන දකිනා වෙලේ

දැනෙන මිහිරක් තරම් 

කොයිද සැපතක් ඉතිං

 

සීත පවනේ එතී

දැනෙන සුවඳක් වගේ 

දැවැටියන් මා වටේ

සිඟිති දරු පැටවුනේ

සම්පතක් නෑ තරම්

 

ළපටි සිත් මල් තළා

බිඳුන​ ගණ වැහිවළා

ළහිරු කෙඳි තැවරිලා

ඉවත යාදෙන් හෙමින්

සොඳුරු මොහොතක් වෙලා

 

මල්ලිකා එම් බණ්ඩාර

7. 7. 2023

Tuesday, 19 March 2024

ඉඳ සල ගහෙ


 උරුවෙලා දනව්වේ - 
හරිත​ වනසන්ඩයේ 
ධවල වැලි තලා සැදි 
 රමණීය  සේනානී නිගමේ  
ඉඳ සල වන මැද සුපසන් පහයේ
වෙසඟේ පුර පසළොස්වක පොහොයරි  
 සිරි  සිදුහත් කුමරුන් දිනු ​ දිනයේ  


පව් මළ දෝවන පැන් කළසක් සේ

සව් සත සිත් නිකෙළෙස් වන විලසේ

දිව් රා දොස් මොහ මුල් සිඳිනාසේ

දැල්විණි සදහම් පන්දම් සහසේ


යක් නා දෙව් ජන ගඳඹුන් සමගිනි

සිව් නරවර සිව් හෙළයෙන් සපැමිණි 

මහරජවරු නෙක සෙන් පිරිවරමිණි 

මහ මුණි හිඳි දම් සබයට පිවිසිනි 


මල්ලිකා එම් බණ්ඩාර​

 

29. 02. 2024

Saturday, 16 March 2024

හත්වන දශකයේදී

 At the seventh decade

If there is a change in something, it becomes different. 

හත්වන දශකයේදී


දෙටු දූ කුමරි කුල​ගෙයි වෙල්විදානේ

පන්දම් වැට උඩින් සඳ වත​ දුලානේ 

 රුවගුණ සපිරි සොමි හස කැන් සළානේ 

ඇය රැජිනක් වුණා මේ ගම් තුලානේ

 

ගතවූ දසක ගණනක මතකය අතර

අප්පච්චී හිඳී ලණු ඇඳ මත වැතිර​

වැහැරුණු කයේ කැක්කුම් අතරින් පතර

අම්මා සිහින් කෙඳිරිලි මැදමය නිතර

 

අබිමන් සිහ රජෙකුසේ හඬ අවදිකර​

ගජතුන් ගමන් යන දුටු දන වසඟ කර​

ඔහු මේ ගම්පියස පොබයූ දිනිදුයුර​

අද නිහඬව හිඳී අත්පා වකුටුකර​

 

නල මුසු සුවඳ මල් පියවිල්ලෙන් ඉතිර​

දුල නන් වණින් සමනල පියසන් පැතිර

ගෙමිදුල උයන්සිරි ගත් පෙරදා නිතොර​

මහගෙයි කලඑළිය නෑ වෙනදා විතර​

 

වියපත් අතුපතර හෙවනැළි හදාගෙන​

තුරුපත් බිම හැලී තණ පත් බදාගෙන

වනපොත් කරපු දරුවෝ ලොව දිනාගෙන​

පියඹා ගිහින් දුරු රටවල් හොයාගෙන​

 

ඉර හඳ ගැට ගසා අහසේ එහා කොන​

දිවිවැට නඟා විය උර මත තියාගෙන

තරණය කරපු හත් ගව් දුර ගෙවා ගෙන​

සුසුමක් හෙලති සිඳු ඉම දෙස බලාගෙන​

 

මල්ලිකා එම් බණ්ඩාර​

3. 03. 2024