සිරිපොද වැස්ස ගල් අරඹට වැටුණාය
පිය ඇත් රජිඳු පය පැකිලී වැටුණාය
යල මහ කන්න නියගේ කර දැවුණාය
හිස් මැටි වළං දැක කුසපොතු ඇළුණාය
පතුළේ කටු පිළිල කරගැට පිරි දෑත
වැර වීරියෙන් සෙක්කුව නොළිහා මෑත
අටු කොටු පිරෙන මුත් මැදුරක දුර ඈත
පෑගෙන තැළෙන උන්ගේ නොපිරෙයි දෝත
මහ රජ මැති ඇමති සිටුවරු බලකාය
උරිනුර ගැටී කඳවුරු බැඳ රට කෑය
අයකැමි වණික් කහවනු ගැල ගිලලාය
පත්තුව බඳී පිටිකර පය බරවාය
ගිළිහී හාමතේ දියවුණ ඇට මිදුළු
පතලේ පසට එක්වන දහදිය කඳුළු
දිළිහී කැටි ගැසෙයි රතුකැට සේ දිදුළු
අභිමානයෙන් රජවරු පළඳති කිරුළු
මහ පෙරහරින් වප් මඟුළට කැන්දාන
සහ පිරිවර ගයති ගී ගිරි පුම්බාන
පුද උපහාර මැද කොඩි කුඩ බන්දාන
සෙද බල පවිටු බොහොඬුන් පෙලහර පාන
මල්ලිකා එම් බණ්ඩාර
6. 09. 2023
No comments:
Post a Comment