Friday, 12 April 2024

සුවඳ සිහිවටන...


එකින් එක ගිළිහිලා පුරුද්දනු බැරි ලෙසින්

සොඳුරු පිය දසුන් සහ ළබැඳි මාපිය සියන්

මඟ හැරී අතහැරී ගියත් නොඑනා සෙයින්

බරක් ඇත හිත කොනක මතක ඉතුරුව ගොසින්

 

චිතකයේ ගිනි පුළිඟු බොඳව දුම් රොටු පැතිර

පරිසරය එතෙන සඳ අඳුරු සෙවැනැලි වැතිර

මතක අතහල යුතුව ඇතත් කල්‍ යල් නොහැර

දෙපා එසවිය නොහැකි සෙයක් දැනුනා මිතුර

 

දෑස් දල්වා ගතිමු ජීවිතය දිනන්නට

කීවරක් වැටුනාද නැඟිට ගෙන දණින් සිට

උරෙන් උර ගැටී රණ බිමක ඇද වැටෙන්නට

කරුණ කිම වැරැදුණේ කොතැන කවදා අපිට​?

 

අත්වින්ද කටුක බව මැදින් දැක පරතෙරක්

අරුත් සුන්දේ ගැනම නැහී ඉම නැති  දුරක්

හඹා ගිය​ මුත් නොලදජීවිතේ අරමුණක්

සමාදානය නොමැති සිත බරයි මහමෙරක්

 

බුමුතුරුණු මත නොවේ කටු පඳුරු වන පෙතක​

ඇවිද ගිය මතක ඉකිලනු දැනේ හද කොනක​

නැඟී සිට  පය පැකිල නොවැටෙනා සමබිමක

පහර පිට පහර දෙන එක ගැනයි හිතට දුක​

 

නුඹේ පා තබන්නට හිණිපෙතක් මත ඉඳුරු

රළු පරළු මඟ දිගේ පහුකරන් මඩ වගුරු

සුවහසක් පැතුම් මැද හෙළූ දහදිය මුගුරු

සුවඳ සිහිවටනයකි මිනිස්කම ළඟ සොඳුරු


මල්ලිකා එම් බණ්ඩාර

12. 04. 2024

Saturday, 6 April 2024

ප්‍රේමයක අසිරිය



චන්ද්‍ර මඬළ සේ දිළියෙන​

රිදී පහන් සිළුවක් සේ

කළුවර පස පෝය දාක

දල්වන ලද පහනක් සේ


 මළවුන් ගේ රජ දහනක

සිරගතවුණ ආත්මයේ

ලෙන් දොර බිඳ නුඹ ඇවිදින්

මගේ පාළු සුසානයේ

 

ඉන්ද්‍ර නීල ගුවන් තලේ

විකසිත සුදු නෙළුමක් සේ

මන්දහාසිනියෙ නුඹ වත​

රැඳුණි මහද ගිරි සිරසේ

 

අන්ද මන්ද කර නිසසල​

සිතුවිලි කැට පහරක් සේ

විලාසිනියෙ නුඹ වැඩියා

සමන් පිච්ච අහුරක්සේ

 

නෙතග කැළුම් මගේ සිතට    

අමා දහර බඳුනක්සේ

සුවය දිදී​ වසඟ කළා

ගන්ධමාන ඔසුවක්සේ

 

මල්ලිකා එම් බණ්ඩාර​

6. 04. 2024

Friday, 5 April 2024

මතක මී බිඳු

 

සීත සුළඟක් හමා ඇවිදින්

කවුළු දොර ළඟ නැවතිලා

මතක මී බිඳු සිතේ තවරයි

මගේ වතගොත විමසලා

 

විහඟ ගී තනු සමඟ විකසිත

බකිණි මල් දෙණිපෙත ඉමේ

නුඹේ මතකය අවදි කරවයි

ළහිරු හිනහෙන කණිසමේ

 

විලක සුපිපුණ කැකුළු කුමුදෙක

සුවඳ තැවරෙන මායිමේ

නුඹෙ හසරැළි සිහින් රල පෙළ

නිනද දෙයි මා සිත කොනේ

 

නුඹේ කොපුළත පැහැය අරගෙන​

සැඳෑ වෙළපෙති ඉහිරිලා 

රැඳී සිහිනිඟ දුහුල් සලුවේ

හිඳී මතකයෙ දැවටිලා

 

මල්ලිකා එම් බණ්ඩාර

20. 1. 2024

කවිකමේ අබග්ගය

 

සීගිරි ගිය උන්ට

කැටපත් පවුර තිබුණට​

මා වැනි පුඟුළෙකුට​

කවි ගී පද බඳින්නට​

අතැතිව​ පන්හිඳක්…තල්පතක්  

හොඳින් පට්ටලවී ඇන තියාගෙන ගුදිරියක

පස්මහ බැලුම් ඇවැසිද​ ?

 

මුළුතැන් ගෙයි තනිව​

සෝදන සහල් දෙමිටක​

නියැඟින් කඩා දළු ටික​

ගොටුකොළ  මුකුණු සාරණ ​​​

කපන මළවන​​ මොහොතක​

 

පාලුවත් තනියක් තුනීවට හිත යට

දැනී කිමිඳෙන මොහොතක

ජනෙල් වීදුරු මත

සිහින් හිම කැට රැඳුන නිමෙසක

ගව් සගව් අහස් කුස

සිසාරා නෙත සරනා ඇසිල්ලක​

 

මෝදු වෙන ළය බෙයද පීරා

ගොළු මුහුදු විවරයෙන් 

 සිහිල්-උණු දිය සීරා

නොවියැකෙන උල්පතින්

දියත්තක්වී ගලයි

කවි පළිඟු ජල​ ධාරා

 

තනුව ලය ගලපා

ගෙතී නෙක මල් දම්සේ

හිත් කුහරයේ පතුල​

සෙමෙන් පිරිමැද​ නිපන්

පෙදෙන් එළිවැට රැකි

යවහන් දොස් නොරැකි රැකි

කවිකමේ අරුමය

උරුමයක් වීමද අබග්ගය?​

 

සසළ සිත් පලකේ

රැඳුන සිතිවිලි සහසේ

කුටුම්භයෙ යුතුකම්

අත'ර මොහොතක කඩිනම්

තිඹිරි ගෙන් ලද කවිකම්

දැළි කුණු රැඳුණ'තින්

අතට අහුවුණ යම්

පතක පැන්සල් කොටයෙන්

කවි ගී සඳැස් නිසඳැස්

ලේඛන ගත කරමි

දුහුනන් දැනුම් සඳහා

 

පුතුගෙ තදියමකට​

මහමඟ නීති ලගුකොට ​

ඉහිල ගිය වරදට​ දීපු දඩ කොලයට​

ගරුසරුවක් නොකොට​ හරවා එහි නොපිට​

ලියා තිබුණා කවි නොයෙක් විට

 

අපෙ ඇත්තගෙ නමට​​

ජල විදුලි බිල් ආකොට

දුරකතනය පසෙක​

තියනවා කවදත් පුරුද්දට​

කල්‍ යල් පහුනොකොට

බිල් ගෙවන පුරවැසියට​

තරු පනින විලසට​

කුරුමිණි අකුරු කොට

ලියා තිබුණේ කවියි කරුමෙට!​

 

මල්ලිකා එම් බණ්ඩාර​

4. 04. 2024