එකින් එක ගිළිහිලා පුරුද්දනු බැරි ලෙසින්
සොඳුරු පිය දසුන් සහ ළබැඳි මාපිය සියන්
මඟ හැරී අතහැරී ගියත් නොඑනා සෙයින්
බරක් ඇත හිත කොනක මතක ඉතුරුව ගොසින්
චිතකයේ ගිනි පුළිඟු බොඳව දුම් රොටු පැතිර
පරිසරය එතෙන සඳ අඳුරු සෙවැනැලි වැතිර
මතක අතහල යුතුව ඇතත් කල් යල් නොහැර
දෙපා එසවිය නොහැකි සෙයක් දැනුනා මිතුර
දෑස් දල්වා ගතිමු ජීවිතය දිනන්නට
කීවරක් වැටුනාද නැඟිට ගෙන දණින් සිට
උරෙන් උර ගැටී රණ බිමක
ඇද වැටෙන්නට
කරුණ කිම වැරැදුණේ කොතැන කවදා අපිට?
අත්වින්ද කටුක බව මැදින් දැක පරතෙරක්
අරුත් සුන්දේ ගැනම නැහී ඉම නැති දුරක්
හඹා ගිය මුත් නොලද ජීවිතේ අරමුණක්
සමාදානය නොමැති සිත බරයි මහමෙරක්
බුමුතුරුණු මත නොවේ
කටු පඳුරු වන පෙතක
ඇවිද ගිය මතක ඉකිලනු
දැනේ හද කොනක
නැඟී සිට පය පැකිල නොවැටෙනා සමබිමක
පහර පිට පහර දෙන එක
ගැනයි හිතට දුක
නුඹේ පා තබන්නට හිණිපෙතක් මත ඉඳුරු
රළු පරළු මඟ දිගේ පහුකරන්
මඩ වගුරු
සුවහසක් පැතුම් මැද
හෙළූ දහදිය මුගුරු
සුවඳ සිහිවටනයකි
මිනිස්කම ළඟ සොඳුරු
මල්ලිකා එම් බණ්ඩාර
12. 04. 2024
No comments:
Post a Comment