Sunday, 26 June 2016

මුවැත්තියගේ ගීතිකාව​​


ඉමක් නොපෙනෙන සසර කතරේ 
නිමක් නැති මඟ වන්දනාවේ
ගිමන් හැර පැන් සනහනා
තුරු සෙවන සුව​ සල​සනා
නිමෙසකදි සරතැස නිවාලන​
කෙම් බිමක් හමුවන තුරා​ 
හිඳිමි වපුරා කඳුලු බිජුවට  

මං පෙතක් නොවැටුන ඉසව්වක​
නොදැන හසරක් අතරමංවී
තවලමෙන් මඟ​ හැරී ගිය සඳ  
අමිලදේ සැම​ ගිළිහුණේ මුත්
කුමට ලොබ බැඳ බලා ඉන්නෙද 
පුර පසින් තරු මෝදු වෙන තුරු
සැරිසරන්නෙමි නොනැවති

අඳුරු දළ වැලි කඳු වළල්ලේ
මැකුණ සෙවනැළි යළි අවදිකර
වියරු සුළඟේ අඳෝනා මැද​
දිවා රෑ මිරිඟුවක් ලුහුබැඳ​
මියුලියක සේ හඹා ආවෙද​
රළු කුණාටුව මුණගැසෙන තුරු

තාරකා නොපිපෙන අහස යට
කාලයේ වැලිතලා පසුකර 
දුලා තරු එළි වළා අතරින්  
වළාහක දෙවියන් යදින්නට​
මිළානව යන නුවන් දල්වා
තවත් මොහොතක් බලා ඉන්නෙමි  

දෙවොල දොරගුළු විවර නොවතුදු  
දෙවිඳු නොවඩින බව දැනෙන​ මුදු
අනන්තය වෙත යොමා සවණත​
හිඳිමි සුබ අස්නක් ගෙනෙන තුරු
පවන් රැල්ලක දැවටිලාවුව.

නැවුම් බිම අස්වනු නෙළන්නට
සිනා මල් දම් පැළැඳ ගෙලවට 
කඳුළු වපුරා පලදරනදා
විමුක්තිය ගීතිකාවක්සේ  
ගැයෙනු ඇත මා ළඟින් හිඳගෙන​

  


Thursday, 16 June 2016

දේව කන්නලව්ව​


තක්සලාවේ හිටන් හදාගත් දේදුන්න​
පැතුම් කඳු සිරස මත බොඳව දියවුණ වැන්න​
කඩ ඉමට ළං වුණත් කඩුල්ලේ උස නිසා
හිටිපිම්ම පැනගන්ට ගැම්මකුත් නැති නිසා
ඉරුණ සරසවි සිහින කඩමල්ල ගිනි තියා,
විප්‍රවාසය පිණිස​ යන්ට අවසර අපිට

තවලමට එකතුවී වැලිකතර තරණයට​  
ග්‍රැනිසුප්පාවතී ගිය මඟේ යමු යන්ට​​
වතීලා, ලතාලා, ෆරීනායෝගිනී
කටු සැමිටි පහරකා කුරුසියේ ඇණ ගසා මියැදුනත්
යන්ට​ සැරසෙමු අපිත් දිවි පරදුවට තියා,

පිදුරු බිම්මල් උඩින් සත්මහල් පිපෙන්නට
අපා දුක් විඳින මව් පියවරුන් මුදන්නට​
හිඳුනු දහදිය ගඟේ කඳුළු දෝනාව යට
ඇට මිඳුළු දිය වුණත් යමු නිදන් හාරන්ට​​

දිය බිඳක් රැඳී නැති තෙල උනන පොළොව යට ​
වැලිකතර ගිමන් නිවනා විසල් මැදුරු වට​
සඳළුතල​ මත විජිනිපත් සෙමර සැලෙන​ විට
සිඳුනු විලිබිය, බිඳුනු අතපයේ හිලව්වට,
ඇතෙක් බර වස්තු දෑවැදි පුදමු කුලගෙයට​  

රටට එන කහවනුවෙ බර තුලාවේ තියා
මව බිරිඳ සොහොයුරිය වහල් මෙහෙයට යවා
උපයනා කඳුළු රුපියල් මතින් පිහිනනා
රට කරන ඇත්තන්ට යස ඉසුරු වස්සනා
අපේ පන්තියෙ උන්ට කස පහර දෙවන්නට 
හපන් ජගතෙක් එවන් සිව්වරම් දෙවිගණා!





Friday, 10 June 2016

​​ පිළිරුව බිඳ දැමීම​

දසක ගණනක් පුරා දිවා රෑ නිදි වැරු
සිහිනයක පිළිසිඳුන රුවක් නිමවෙන ​තුරු
තනන්නට​කඩන්නට නැවත ඉදි කරන්නට​
ඉසිඹුවක් නැති සේම​ ජීවිතය විඳින්නට 
අනා දහදිය කඳුළු කැටයමින් නෙක වණින් 
ඔපදමා ඉදි කළෙමි ම​ගේ රුව

වෙහෙස විඳ කල අකල නොතකාම​
මා අතින් නිමකරන්නට යෙදුන​ කළලයට
පිඹින්නට කලින් ජීවන හුස්ම
පසිඳ දැන ගනු රිසිමි​ සැබවින්ම ඒ මමද​?

සම්මුතිය අත නොහල​ නිමැවුමක් දුටුවාම​
පසක් විණි එය​ ම​ගේ නොවන බව ඉඳුරාම​
පලිඟු පිළිමයක් සේ මා උපන් දවසේම
කඩා බිඳ හලෙමි අනුරුව​ තිඹිරි ගෙයිදීම

පිළිරුවක් නැති කෙනෙහි 
අසීමිත නිදහසක්සාමයක්ප්‍රීතියක්
ඉහවහා දිවෙන බව දැනෙයි මට 
වැට කඩොලු බැමි නොමැති
චිරන්තන පුරුදු නැති
අගය මුත් මිලක් නැති මගේ හිත,   
පුංචි සන්දියේ මෙන් ​නිවහල් ය​.


මල්ලිකා එම් බණ්ඩාර​

23. 04. 2016



Tuesday, 7 June 2016

කදෝපැණියා

ළසඳපත සේ හෙමින් මෝදුව 
මහද ගිරිහිස මතින් පායා
අසිරිමත් ප්‍රේමයේ කළලය
වපුරනා තෝතැන්න ගාවා 
ඔබෙ නුවන් සර පහර විනිවිද​  
සසල විණි සිත ළපල්ලක් ලෙද​

සීත මැදියම පවන් රැල්ලක​
ගීතයක් සේ ගොයම් නිල්ලක​
වැදී තැවරී මගේ හද ගැබ​
නුඹම පිළිසිඳ ගැනිනි සකිසඳ​

හැරී දින සති දසක ගණනින්
නිමාවී ඇතියෙන් වසන්තය 
යළිත් අප අතරට නොඑන ලෙද,
විහඟ ගී වියැකිණි අතර මඟ​ 
​ඉඳුරු දුනුසැව් දියව නුඹ මැද​
අඳුර රොද බැඳ හිඳී පෙරමඟ
බිඳුන මැදියම් සිහින අතරේ
කදෝපැණියෙකුවී පියාඹන​
මතකයක් පමණක්ය අපි අද​  

මල්ලිකා එම් බණ්ඩාර​


07 06. 2016


සාමණේර වත​

(වස්තු බීජය: පුවත්පතක පලවූ ප්‍රවෘත්තියක් ඇසුරෙන්)

අකාලේ මියෑදුන දරුවන්ගෙ පියා ගේ
හත්දොහේ දානයට වැඩම කර මගෙ පැලට​
හත් පරම්පරාවක් නිවන් දක්නා පිණිස​
මගේ වැඩිමල් කොලු සසුන් කෙත අස්සද්දන්න​       
කැප කරන්නට කියන ඇවිටිල්ල හින්දාම​
​උපනුපන් මළ හැමට සුගතියක් අත්වෙන්ට​ ​
හිත හදා ගතිමි මං දනක් කොට පුදන්නට​
කිරිසුවඳ මැකී නැති පුතු දණින් වැටුණාම​
නියත විවරණ දුන්හ අපේ නා හිමිපාණ   

කුසපුරා බතක් කා බණ දහම් දැන ඉගෙන
උපන් ගෙට දෙස රැසට පුද පිණිස ​කැප වෙන්න​​
අකාලේ මියෑදුන පියාටත් පිං දෙන්න​
අඬා වැළපී නමුත් තුන්හිතම පහදවා
දන් දුනිමි මගෙ කොලු සාසනේ පැවත්මට.

එහෙව් බුදුපුතුන්වත් අපාගත කරන්නට​
බලා කල් යල් දේවදත් පරපුරේ උන් 
නිවන් මඟ හරස් කොට​
සසර අරණ සරන්නට දැල එලා හමාරයි 
පඬු හැළිය කලතලා පින් කෙතම කෙලෙහිලා
මගෙ පුතා බිලි අරන් පව්කාර තැනන්ලා

ගිනි ගොඩක්වී මගේ සියොලඟම දැවෙනවා
මහමෙරක් තරම් දරු දුක අඟිරි ගානවා
බණ පොතේ පටාචාරා, කිසාවන් වගේ
මමත් දුක කිය කියා දහ අතේ දුවනවා

සවන් දී සාදු හඬ, සුවඳ දුම්, පසඟතුරු
අබිබවා වියරුවෙන් දිවෙයි මා ගත රුහිරු
අසරණව හිඳින්නෙමි මියගියෙන් මගේ බරු
පිළිසරණ පතන්නෙමි යුක්තියේ නමින් ගරු

යුතු අයුතු තුලාවේ දෙපස සම කරන්නී
දෑස් බැඳි කඩතුරා විනිවිදව දකින්නී
ජීවිතය මරණයෙන් වෙන්කරන අසිපතක් දරන්නී
සත්‍යයම දකින්නට ඉන්ද්‍රඛීලයක් සේ හිඳින්නී,
නැගෙණියනි, නුඹ තවම කන්‍යාවකැයි හඟිමි​,
ඉදින් මේ අවනඩුව පසිඳලන ලෙස යදිමි




Thursday, 2 June 2016

She


Yes, I know
I’m a character in a fiction
Just to read but never numbered
I’m a fragment of the large audience
But never performed on the stage

It’s written in the book of myth
my presence to be found as a witch, a mermaid,
Or an angel in the fairy-tale
That depicted through the fancies

My name doesn't appear  
In the chapters of the history
that buried the value 
and the uniqueness of my being
by missing the form of self-censorship.
In the eyes of the kinsmen,
I’m a lame duck forever
Who’s destined to be a lamenter
whenever obedient to tradition

Truly, I've being a river of life
that flowing through the valleys
which cherished the essence of nations,
for throughout the history.
Even though, I’ve been a great mystery
Yet to be identified
and yet to be defined!


අදත් නැති හෙටක්


කටේ කිරි සුවඳ යන්නත් කලින්
පතා අවසර පදය​ පෙම්වතා හමුවෙන්න 
වැදූ මව් ඉදිරියේ අභියෝග කරන්නී
රැහැන් පට අතැතිව​ රජ්ජුමාලා

කසල කද තියා මඟ අසල බස් නැවතුමේ
පිච්චියක් අත නැතත් මොහොතකට නතරවී
තැබෑරුම ළඟ හිඳී සුනීතත්
ඉර හැරෙන කණිසමේ.

මදු විතින් බමන ගත ගිනියම්ය​
අඳුන් දේදුන්න යට නෙතු සඟල අඩවන්ය
ගිජුලිහිණි පියාපත් සලන තෙක්
අම්ඹපාලී හිඳී අවන්හල කෙලවරක​

සුවඳ රස මසවුලින් සැතපිලා 
සුව පහසු අසුන් ගත රිය පෙලේ
බමුණු කැත් කුලවත්හු හඹා යති.
අදත් වෙනදා වගේ අවන්හල ඉදිරිපිට​,
​සදෙව්ලෝ සැප පතන පින්වතෙකු එනතුරා
ඉපල් බේරුණ ගතින්​ 
යදියි ඉඳුලක් පුංචි සෝපාක.

අයෝමය දොර වැසූ වාලුකාරමයේ
දම්සබා මණ්ඩපේ වැඩ හිඳින යතිතුමෝ
නමුණුකුල වැනි බණක් දෙසනවා හැමදාක​
ආනිසංසය ගැනම අසදෘශ​ දානයේ

කලට අකලට ඇරෙන වැහෙන තක්සලාවේ
දෙසුම් හල තනිවෙලා ඉකිබිඳිත​, සුසුම්ලත​
දරා ගෙන නැන නුවණ​ උකටලී වූ සිතින්
දිසාපාමොක් හිඳී  සිල්ප දක්වනු පිණිස,
යොවුන් බිඟු පෙළ​ ඇවිත් මඟ දෙපස​ රොද බඳී 
දියව්! පලයව්! ගීත ගයද්දී,
යමා මහ පෙළහරෙන් නහා සැනැහී කඳුළු පිස ගන්න.​

නොදැන දහදිය සුවඳ​, පවස හා සාගින්න
දෙසන්නට බණවරක් ලිච්චවී රජ දවස
නිරිඳු දියසෙන් වඩී පරිවාර දන සමඟ.​
දස පාරමී පුරන අපේ පන්තියෙ එවුන්
ඉවසපල්ලා ඉතින් අදත් නැති හෙට පිණිස​.