දසක ගණනක් පුරා දිවා රෑ
නිදි වැරු
සිහිනයක පිළිසිඳුන රුවක්
නිමවෙන තුරු
තනන්නට, කඩන්නට නැවත ඉදි කරන්නට
ඉසිඹුවක් නැති සේම ජීවිතය විඳින්නට
අනා දහදිය කඳුළු කැටයමින් නෙක වණින්
ඔපදමා ඉදි කළෙමි මගේ රුව
වෙහෙස විඳ කල අකල නොතකාම
මා අතින් නිමකරන්නට යෙදුන කළලයට
පිඹින්නට කලින් ජීවන හුස්ම
පසිඳ දැන ගනු රිසිමි
සැබවින්ම ඒ මමද?
සම්මුතිය අත නොහල
නිමැවුමක් දුටුවාම
පසක් විණි එය මගේ නොවන බව ඉඳුරාම
පලිඟු පිළිමයක් සේ මා
උපන් දවසේම
කඩා බිඳ හලෙමි අනුරුව තිඹිරි ගෙයිදීම
පිළිරුවක් නැති කෙනෙහි
අසීමිත නිදහසක්, සාමයක්, ප්‍රීතියක්
ඉහවහා දිවෙන බව දැනෙයි මට
වැට කඩොලු බැමි නොමැති
චිරන්තන පුරුදු නැති
අගය මුත් මිලක් නැති මගේ හිත,
පුංචි සන්දියේ මෙන් නිවහල් ය.
මල්ලිකා එම් බණ්ඩාර
23. 04. 2016
No comments:
Post a Comment