Sunday, 26 June 2016

මුවැත්තියගේ ගීතිකාව​​


ඉමක් නොපෙනෙන සසර කතරේ 
නිමක් නැති මඟ වන්දනාවේ
ගිමන් හැර පැන් සනහනා
තුරු සෙවන සුව​ සල​සනා
නිමෙසකදි සරතැස නිවාලන​
කෙම් බිමක් හමුවන තුරා​ 
හිඳිමි වපුරා කඳුලු බිජුවට  

මං පෙතක් නොවැටුන ඉසව්වක​
නොදැන හසරක් අතරමංවී
තවලමෙන් මඟ​ හැරී ගිය සඳ  
අමිලදේ සැම​ ගිළිහුණේ මුත්
කුමට ලොබ බැඳ බලා ඉන්නෙද 
පුර පසින් තරු මෝදු වෙන තුරු
සැරිසරන්නෙමි නොනැවති

අඳුරු දළ වැලි කඳු වළල්ලේ
මැකුණ සෙවනැළි යළි අවදිකර
වියරු සුළඟේ අඳෝනා මැද​
දිවා රෑ මිරිඟුවක් ලුහුබැඳ​
මියුලියක සේ හඹා ආවෙද​
රළු කුණාටුව මුණගැසෙන තුරු

තාරකා නොපිපෙන අහස යට
කාලයේ වැලිතලා පසුකර 
දුලා තරු එළි වළා අතරින්  
වළාහක දෙවියන් යදින්නට​
මිළානව යන නුවන් දල්වා
තවත් මොහොතක් බලා ඉන්නෙමි  

දෙවොල දොරගුළු විවර නොවතුදු  
දෙවිඳු නොවඩින බව දැනෙන​ මුදු
අනන්තය වෙත යොමා සවණත​
හිඳිමි සුබ අස්නක් ගෙනෙන තුරු
පවන් රැල්ලක දැවටිලාවුව.

නැවුම් බිම අස්වනු නෙළන්නට
සිනා මල් දම් පැළැඳ ගෙලවට 
කඳුළු වපුරා පලදරනදා
විමුක්තිය ගීතිකාවක්සේ  
ගැයෙනු ඇත මා ළඟින් හිඳගෙන​

  


No comments:

Post a Comment