Tuesday, 7 June 2016

සාමණේර වත​

(වස්තු බීජය: පුවත්පතක පලවූ ප්‍රවෘත්තියක් ඇසුරෙන්)

අකාලේ මියෑදුන දරුවන්ගෙ පියා ගේ
හත්දොහේ දානයට වැඩම කර මගෙ පැලට​
හත් පරම්පරාවක් නිවන් දක්නා පිණිස​
මගේ වැඩිමල් කොලු සසුන් කෙත අස්සද්දන්න​       
කැප කරන්නට කියන ඇවිටිල්ල හින්දාම​
​උපනුපන් මළ හැමට සුගතියක් අත්වෙන්ට​ ​
හිත හදා ගතිමි මං දනක් කොට පුදන්නට​
කිරිසුවඳ මැකී නැති පුතු දණින් වැටුණාම​
නියත විවරණ දුන්හ අපේ නා හිමිපාණ   

කුසපුරා බතක් කා බණ දහම් දැන ඉගෙන
උපන් ගෙට දෙස රැසට පුද පිණිස ​කැප වෙන්න​​
අකාලේ මියෑදුන පියාටත් පිං දෙන්න​
අඬා වැළපී නමුත් තුන්හිතම පහදවා
දන් දුනිමි මගෙ කොලු සාසනේ පැවත්මට.

එහෙව් බුදුපුතුන්වත් අපාගත කරන්නට​
බලා කල් යල් දේවදත් පරපුරේ උන් 
නිවන් මඟ හරස් කොට​
සසර අරණ සරන්නට දැල එලා හමාරයි 
පඬු හැළිය කලතලා පින් කෙතම කෙලෙහිලා
මගෙ පුතා බිලි අරන් පව්කාර තැනන්ලා

ගිනි ගොඩක්වී මගේ සියොලඟම දැවෙනවා
මහමෙරක් තරම් දරු දුක අඟිරි ගානවා
බණ පොතේ පටාචාරා, කිසාවන් වගේ
මමත් දුක කිය කියා දහ අතේ දුවනවා

සවන් දී සාදු හඬ, සුවඳ දුම්, පසඟතුරු
අබිබවා වියරුවෙන් දිවෙයි මා ගත රුහිරු
අසරණව හිඳින්නෙමි මියගියෙන් මගේ බරු
පිළිසරණ පතන්නෙමි යුක්තියේ නමින් ගරු

යුතු අයුතු තුලාවේ දෙපස සම කරන්නී
දෑස් බැඳි කඩතුරා විනිවිදව දකින්නී
ජීවිතය මරණයෙන් වෙන්කරන අසිපතක් දරන්නී
සත්‍යයම දකින්නට ඉන්ද්‍රඛීලයක් සේ හිඳින්නී,
නැගෙණියනි, නුඹ තවම කන්‍යාවකැයි හඟිමි​,
ඉදින් මේ අවනඩුව පසිඳලන ලෙස යදිමි




No comments:

Post a Comment