Wednesday, 28 June 2017

උමා ඔය​



මිහි ළය මඬල විද ඇද ලේ වැල්  ධාරා
හිත් පිත් නැතුව කැන එහි පතුළට හාරා
කෙත්වත් මරා ඇගෙ දරුවන් හිත් පාරා
කවුරුද ඌව අපහරණය කළ       හූරා?

දොවා පොදින් පොද ජීවන සහරාව​
පොවා බිඳෙන් බිඳ අම දිය   දහරාව​
දිවා රැ නැතුව බත සැපයූ         ඌව​
හිඳී තනිව මරණයෙ දොරටුව   ගාව​

හුදී ජනා වෙනුවෙන් දුක්     වළඳාපු
නදී උමා මුළු දැයටම         කඹුරාපු
හිඳී ගිහින් රන් දියවර         උතුරාපු
නිදී තවම රජ දරුවන්  මධු        බීපු

රිදී කාසිවල දිස්නය            දැක්කෝය​
බෙදා කැබෙලි කර ගම් බිම් වික්කෝය
බදා කුට්ටියම කෑවෙත්    ලොක්කෝය
මෙදා විපත දැක මුනිවත     රැක්කෝය 

නිජ බිම රකින කඳවුර​ පෙරමුණ   ගත්තු
සිද බිඳ රුපුන් ඔද තෙද යුද ජය     ගත්තු
ඉතිහාසය ලියූ වෙල්ලස්සේ          පුත්තු
නොතකා හලේ ඇයි මෙතරම් බලවත්තු?

මල්ලිකා එම්. බණ්ඩාර​


28. 06. 2017

කැදැල්ල හල රන ගිරවී


"පින්පල නිමවී තෙදබල පිරිහී
විමානයෙන් බැස​ ආවා වද්දෝ  
කඳුළු කදක් ගෙන මහමඟ පුලනා
නන්නාදුනනා හිඟන්නියේ?
හිතූ මනාපෙට බාලසන්දියේ
ගෙදරින් පිටවුණ බාල නඟේ
මහ සම්මත පෙළපතට දීග ගිය​
පින්කෙත වන් මගෙ බාල නගේ!

කැදැල්ල අත හැර හීන පාලමෙන්  
පියමං කළ​ නුඹ පොල්කිච්චී
ගෙපල පහන් කළ​ පහන් සිළුව​ අද​
නිවිලා තනි මඟ​ තනිවෙච්චී
දේදුනු සිතුවම් දියවී බොඳවුන
දියබුං ගසනා කඳුළු ගඟේ
පැලට යමන් අපි ගීත ගයමු යළි
රන ගිරවියවන් බාල නඟේ

කුළගොත් ඇදලා මා නෙරපූ සඳ​​
වෙසමුණියන්සේ  පරල වෙලා
රැහැ පාවාදුන් කුවේනියක සේ
සිහසුන කිරුළද අහිමි වෙලා
ප්‍රේම විජිතයෙන් පිටමං වූ දා
පුරුදු ඉසව්වෙන් වහන් වෙලා
පිළිසරණක් ඇති මානෙක රැඳුනෙමි
නොබලන් සොයුරනි උරණ වෙලා


මල්ලිකා එම්. බණ්ඩාර

 07. 10. 1986

Thursday, 22 June 2017

​අරන්තලාවේදී පියෙකුට කියවුණ කවි

ඔබ මේ ලොව දෙනෙත් හැර නරැඹූ වේලේ
මහසත් රුවන් වැසි වැටුණා හිත දෑලේ
දුව පැන ඇවිද මුව හසරැළි පෑවේලේ
සක්විති සැපත අත්වින්දා අතු ගෙපැලේ

ඔබ බුදු සසුන වෙත පිදු පින්බර දවසේ 
මම බුදු පියෙක් වූයෙමි නිවනෙහි පහසේ
මංගල බණට  වැඩිදා ගම ආවාසේ
මගෙ නෙත කඳුළු මදිවිය හැඬුමට රිසිසේ

මිහිකත සනහ සනහා බිම බලාගෙන​
අමදින මළුව බුදුබණ හිත දරාගෙන
පොඩි හාමුදුරුවෙනි, දරු දුක දරාගෙන
දන් දුන්නා නොවෙයි බුදුබව පතාගෙන​

සතුටත් දුකත් ඔබ වෙනුවෙන් හද මැද්දේ
රඳවා සමුදුනිමි වඩිනට මහ          බැද්දේ
මගෙ බුදු පුතේ ඇහුණා ගිනි බිඳි සද්දේ
නුඹ බුදුවෙයන් හත් මුතු පරපුර මැද්දේ

පරවුණ ඇහැළ පොකුරක් විසිරුණ පරිදී
කහවත් පතිත විණි මිහිමඬලට     වෙරදී
හිමි ඔබෙ හිතේ පියසෙනෙහස කෑමොරදී
හැඬුවා දුටිමි අවසන් සුසුමට           පෙරදී

මල්ලිකා එම්. බණ්ඩාර​


07. 06. 1987


ඉතින් අපි ශ්‍රේෂ්ඨද​?

ඉතින් අපි ශ්‍රේෂ්ඨද​?
රාජ්‍යත්වය ස්ථාපිත කරන ලෙස ඉල්ලන මිනිසුනි,
නුඹලා ඉල්ලන්නේ,
සැමියා ගෙන් පළි ගැනීමට බිරිඳ දියේ ගිල්වන​
කිරි දරුවන් ගේ ගෙල  සිඳින​
කිරිදැරියන් වනේ ලා කොටන​
රජ සංස්කතියද​?
ධනලොබින් තම පියා දඟගෙයි ලවා
වෑබැම්මට තියා මැටි ගසන​,
රාජ්‍යත්වයට ගිජුකමින්
පියවරුන්සහෝදර සහෝදැරියන් 
නින්දනීය ලෙස මරා රජ වෙන​,
චොරනාගයන් චෝරතිස්සයන්වැනි 
පොදු ජන දේපල​ කොල්ලකන
රාජ්‍ය භාණ්ඩාගාරය පතුළටම හින්දන​,
තම බිරිඳ දියේ ගිල්වා මරණ​
වීදිය බණ්ඩාර වැනි කුරිරු පුරුෂ​යන්​
අභිවන්දනය කරන​ රාජ්‍යයක,​
බල තණ්හාවෙන්ම​ වියරුව​
මිනිසුන් ගේ හිස් ඉල්ලන
ම්ලේච්ඡ ඉතිහාසයකට
උරුම අපිම අපට
ශ්‍රේෂ්ඨ ජාතියකැයි කියා ගනිමු.

මෑත ඉතිහාසය පුරහාමද​
දෙතිස්වධ බන්ධන නවීකරණය විණි
බොරු චෝදනා කොට  පැහැර ගෙන
මිනිසුන් අප්‍රාණික හෝ සප්‍රාණිකව​
ගැඹුරු මුහුදෙහි ගිල්වන
අසාධාරණයට එරෙහිව හඬ නඟන​
මිනිසුන් සතුන් සේ සලකා
මස් වැද්දන් ලවා මහ දවල්ගිනි බිඳින
රජවරු සිහසුන්ගත කරනුවස්
මෞලි මංගල්ලයට සැරැහෙන
මැති ඇමති සොර මුලක්
බලය යසිසුරු සමඟ​ නීතියෙන් ස්ථාපිත​ කරනු වස්‍
අසල්වැසියා සමඟ ඇනකොටා ගහ මරාගෙන​
වෛරයෙන් ක්‍රෝධයෙන් දැවෙන අඥාන මිනිසුනි,
කියාපල්ලා ඉතින් අපි ශ්‍රේෂ්ඨද​?
ආදරය​කරුණාව, දයාවක තෙතමනය​  
හදවත් කොනක ඇද්දැයි මොහොතකට හිතාපල්ලා
උතුම් මිනිසත්කම​ සිතතුළම හොයාපල්ලා
මිනිස්කම වන්දනීය බව අදහා ගනිල්ලා ​
නුඹලා වසඟ කර සිරගත කර ගත්
පාට පාට වෘකයින්ට කැපවූ
වහල් භාවයෙන් මිදියල්ලා
නුඹලා මිනිසුන්‍ ය​​. නුඹලාම දෙවියන්දවේ

මල්ලිකා එම්. බණ්ඩාර
17.05, 2017



උපාසකම්මගේ භාවනාව


 කුණු කන්ද වැටුනදා පිරුවටය යට වුණා
සිල් සමාදන් වෙන්න​ අදත් මට බැරිවුණා
කලාවෙන් කලාවට එන්ට පෙර මෝරලා  
විලිරුදාවට කලින් ගැබත් ගප්සා වෙලා

සඳළු තල වල හිඳින පින්වතුන් නොම වින්ද​
අපියි  මෙතුවක් කලක් ඉහිළුවේ දුර්ගන්ධ​
හිඳි පැලම සුසානය කර අපිට ගිනි බින්ද​​
සාක්කියටවත් හඳ​ එබී නොබැලුවෙ මන්ද​​

පුරුද්දට වගේ දුක හඟෝගෙන හිනහෙනා
හුරු පුරුදු මුහුණු මඟ තොටේදී හමුවෙනා
බුරුත්තක් ලැගපු තැන් හිටිවනම වැළලුනා
පින් පෙතක් දෙන්ටවත් තව යන්ට බැරිවුණා

බෝමලූව අතේදුර යන්ට හිත දෙන්නෙ නෑ
මල් පහන් තියන්ටත් හිතේ එකලහක් නෑ
හිත හැදෙන බණ කියන කෙනෙක් බුදුවෙන  තුරා
බෝමළුව පෙනෙන දුර මඟ බලා ඉන්නවා

පාරිශුද්ධත්වයේ නිමිත්තයි සුදු සළුව​
උන් ඒක කෙලෙහලා වහං කරගෙන හෙළුව​
කුණුකයට ලොබ වෙලා කුණු කිළිම වළඳනා
අපේ කරපිටින් ගිය උන්ම කුණු විකුණලා
මහල් ප්‍රාසාද වල වෙසෙති රජ සිටු වෙලා
උන්ට අපි පෙනෙන්නේ මැහි මදුරුවන් වෙලා 



මල්ලිකා එම්. බණ්ඩාර


- 12. 05 2017

Saturday, 17 June 2017

දබරින් ආ දෝණිට


තුනී වෙලා මිණිකිංකිණි වදනා
දෙනෝදහක් මැද මාහිත පිනනා
සිනා විලේ රැළි එකපිට අකුලා
රත්මල් පෙති වුණ නිලුපුල් දෑසින්
හෙල්මැළි පැහැගත් මැළවුණ මුහුණින්
පුරුදු කැදැල්ලට නුඹ ඇවිදිල්ලා
හිතට දුකයි නුඹෙ ගොළුවත දැකලා

බිඳුන අකල් මහ දළ වැහි කෝඩෙට​
​සිඳුන පියාපත් යළි පාහන්නද​
හිඳුන සෙනේහය යළි හා වෙන්නද​
කල්ප කාලයක් දුක් උහුලන්නද​
රැඳුන තැනක රන් අස්සනු පුරනා
බඳුන නුඹයි දඹ රන්මය වටිනා

රන් කරඬුව සේ නුඹව දරාගෙන​
මා කුස ඕවිල්ලේ හිඳුවාගෙන​
ළය කකියන ලේ කිරට පෙරාගෙන​
හැදූ මටයි දුක නුඹ හඬනා විට

දීගෙක යන්නට ලහිවුණ දෝණී
නොහොඳ නෝක්කඩු වීදෝහීනී
කඩුල්ල ඇරැලා ගෙයි පරවේණී
හනික වරෙන් මගෙ රන්කඳ දෝණී

මල්ලිකා එම්. බණ්ඩාර
15.03. 2017



හඳුරුක්කන්ද​



සිහින් මීදුම් පටල ඉරාගෙන පේවෙලා
කඳු මුදුන සිනාසෙයි ළහිරු වත්සුණු උලා
ඉකිබිඳෙයි ඇස ගැටෙන හැම තැනම බොඳවෙලා
නුඹ හිඳී සිතු කොනක තවම ​ මඟ බල බලා

දිය කඩිතිවල වෙළුණ මඳ පවන් සලසලා
කිරි වැදුන වෙල් යාය දුරින් හිටියා බලා
පා සඟල සිපගන්න උදෑසන​ ඇහැරිලා
උඳුපියළි පලස මත පිණි විළඳ ඉහිරිලා

වන වදුළුවල ඉදුන පල, පිපුණ මල් තලා
ඈත ඉතිහාසයක උරුමයෙන් අතුරලා
පහන් සිළුවක්ව​ පෙරමගට පිළිපන් වෙලා
කඳුමුදුන දකි​ තුරු මසිත දිරිමත් කළා 

සඳුන්රුක් කන්ද දිවි වරය දුන් එකහෙලා
තවත් දිගු කාලෙකට නුඹෙ සෙවන අතැරලා
සමුගන්න දුක නමුදු යායුතුය වෙන් වෙලා   
අවසරයි පියඹන්න යළිත් දුරුරට බලා


මල්ලිකා එම්. බණ්ඩාර​
16.06. 2017