සිහින් මීදුම් පටල
ඉරාගෙන පේවෙලා
කඳු මුදුන සිනාසෙයි
ළහිරු වත්සුණු උලා
ඉකිබිඳෙයි ඇස ගැටෙන
හැම තැනම බොඳවෙලා
නුඹ හිඳී සිතු කොනක
තවම මඟ බල බලා
දිය කඩිතිවල වෙළුණ මඳ
පවන් සලසලා
කිරි වැදුන වෙල් යාය
දුරින් හිටියා බලා
පා සඟල සිපගන්න උදෑසන ඇහැරිලා
උඳුපියළි පලස මත පිණි
විළඳ ඉහිරිලා
වන වදුළුවල ඉදුන පල, පිපුණ
මල් තලා
ඈත ඉතිහාසයක උරුමයෙන්
අතුරලා
පහන් සිළුවක්ව පෙරමගට
පිළිපන් වෙලා
කඳුමුදුන දකින තුරු
මසිත දිරිමත් කළා
සඳුන්රුක් කන්ද දිවි
වරය දුන් එකහෙලා
තවත් දිගු කාලෙකට නුඹෙ
සෙවන අතැරලා
සමුගන්න දුක නමුදු යායුතුය වෙන්
වෙලා
අවසරයි පියඹන්න යළිත්
දුරුරට බලා
මල්ලිකා එම්. බණ්ඩාර
16.06. 2017
No comments:
Post a Comment