කුණු කන්ද වැටුනදා පිරුවටය යට වුණා
සිල් සමාදන් වෙන්න
අදත් මට බැරිවුණා
කලාවෙන් කලාවට එන්ට
පෙර මෝරලා
විලිරුදාවට කලින්
ගැබත් ගප්සා වෙලා
සඳළු තල වල හිඳින
පින්වතුන් නොම වින්ද
අපියි මෙතුවක්
කලක් ඉහිළුවේ දුර්ගන්ධ
හිඳි පැලම සුසානය කර
අපිට ගිනි බින්ද
සාක්කියටවත් හඳ එබී
නොබැලුවෙ මන්ද
පුරුද්දට වගේ දුක
හඟෝගෙන හිනහෙනා
හුරු පුරුදු මුහුණු
මඟ තොටේදී හමුවෙනා
බුරුත්තක් ලැගපු
තැන් හිටිවනම වැළලුනා
පින් පෙතක් දෙන්ටවත්
තව යන්ට බැරිවුණා
බෝමලූව අතේදුර යන්ට
හිත දෙන්නෙ නෑ
මල් පහන් තියන්ටත්
හිතේ එකලහක් නෑ
හිත හැදෙන බණ කියන
කෙනෙක් බුදුවෙන තුරා
බෝමළුව පෙනෙන දුර මඟ
බලා ඉන්නවා
පාරිශුද්ධත්වයේ නිමිත්තයි සුදු සළුව
උන් ඒක කෙලෙහලා වහං
කරගෙන හෙළුව
කුණුකයට ලොබ වෙලා කුණු කිළිම වළඳනා
අපේ කරපිටින් ගිය
උන්ම කුණු විකුණලා
මහල් ප්‍රාසාද වල
වෙසෙති රජ සිටු වෙලා
උන්ට අපි පෙනෙන්නේ
මැහි මදුරුවන් වෙලා
මල්ලිකා එම්. බණ්ඩාර
- 12. 05 2017
No comments:
Post a Comment