මිහි ළය මඬල
විද ඇද ලේ වැල් ධාරා
හිත් පිත්
නැතුව කැන එහි පතුළට හාරා
කෙත්වත් මරා ඇගෙ දරුවන් හිත් පාරා
කවුරුද ඌව
අපහරණය කළ හූරා?
දොවා පොදින්
පොද ජීවන සහරාව
පොවා බිඳෙන්
බිඳ අම දිය දහරාව
දිවා රැ නැතුව
බත සැපයූ ඌව
හිඳී
තනිව මරණයෙ
දොරටුව ගාව
හුදී ජනා
වෙනුවෙන් දුක් වළඳාපු
නදී උමා මුළු
දැයටම කඹුරාපු
හිඳී ගිහින්
රන් දියවර උතුරාපු
නිදී තවම
රජ දරුවන් මධු බීපු
රිදී කාසිවල
දිස්නය දැක්කෝය
බෙදා කැබෙලි
කර ගම් බිම්
වික්කෝය
බදා කුට්ටියම කෑවෙත් ලොක්කෝය
මෙදා
විපත දැක
මුනිවත රැක්කෝය
නිජ බිම රකින කඳවුර පෙරමුණ ගත්තු
සිද බිඳ රුපුන් ඔද තෙද යුද ජය ගත්තු
ඉතිහාසය ලියූ වෙල්ලස්සේ පුත්තු
නොතකා හලේ ඇයි මෙතරම් බලවත්තු?
මල්ලිකා එම්. බණ්ඩාර
28. 06. 2017
No comments:
Post a Comment