"පින්පල නිමවී තෙදබල පිරිහී
විමානයෙන් බැස ආවා වද්දෝ
කඳුළු කදක් ගෙන මහමඟ පුලනා
නන්නාදුනනා හිඟන්නියේ?
හිතූ මනාපෙට බාලසන්දියේ
ගෙදරින් පිටවුණ බාල නඟේ
මහ සම්මත පෙළපතට දීග ගිය
පින්කෙත වන් මගෙ බාල නගේ!
කැදැල්ල අත හැර හීන පාලමෙන්
පියමං කළ නුඹ පොල්කිච්චී
ගෙපල පහන් කළ පහන් සිළුව අද
නිවිලා තනි මඟ තනිවෙච්චී
දේදුනු සිතුවම් දියවී බොඳවුන
දියබුං ගසනා කඳුළු ගඟේ
පැලට යමන් අපි ගීත ගයමු යළි
රන ගිරවියවන් බාල නඟේ”
“කුළගොත් ඇදලා මා
නෙරපූ සඳ
වෙසමුණියන්සේ පරල වෙලා
රැහැ පාවාදුන් කුවේනියක සේ
සිහසුන කිරුළද අහිමි වෙලා
ප්‍රේම විජිතයෙන් පිටමං වූ දා
පුරුදු ඉසව්වෙන් වහන් වෙලා
පිළිසරණක් ඇති මානෙක රැඳුනෙමි
නොබලන් සොයුරනි උරණ වෙලා”
මල්ලිකා එම්. බණ්ඩාර
07. 10. 1986
No comments:
Post a Comment