Monday, 29 July 2019

මගෙ පුංචි රණ ගිරවී


(මගෙ පුංචි මිණිබිරී ගේ උපන් දිනය වෙනුවෙන්)

මහද ගෙඋයන පිපී හිනැහෙන​
සිත නිවාලන​ මුදු සුවඳදෙන
සපු මලක් සේ දිළෙනා
රන් සිනාරැල්  සළනා
මගෙ පුංචි රණ ගිරවී

නුඹය පෙරුමන් පිරූ උරුමය​
කියාදෙන ජීවිතේ අරුමය​
අභිමානයේ කඳු හිස නුඹයි
මගෙ පුංචි මිණිබිරියේ

මොළකැටි සිනා දෙකොපුල් තලාවේ
ඉඳුනිල් නෙතින් උතුරා ගලා
හද ගැබ​ අමා ගඟුලක් වෙලා
දොවා සනහන්නී
මගෙ පුංචි රණ ගිරවී


අබිසෙස් දෙවා මා සිරස සරහන​
මහඟු මිණි කිරුළයි
නව අරුත් දී සෙනෙහස් විලේ  
පිපි රත් නෙළුම් කැකුළයි
අඳුර බිඳ හද නුඹ ගැබේ   
දිළෙනා පහන් තරුවයි 
ජීවන පොතේ කවියක් ලියූ
නුඹ නවමු පත් ඉරුවයි!


මල්ලිකා එම් බණ්ඩාර​


15. 10. 2018

Saturday, 27 July 2019

ගමේ ගුරු පාර




මිරිවැඩි සඟල ගෙවෙනා තුරු උදෑසන​
මැඩ දළ බොරළු ගුරු පාරේ ඇවිදගෙන​
මේ ගම් තුලානෙම සිප් සත සදා ගෙන
වියපත් වුණෙමු සැප දුක දෙක බෙදාගෙන​

රජසැප පිණිස උර දුන් ජනයා නේක​
අමුණක් පැතුම් පොදි බැඳ එන මතු දාක
වළඳති දුක නොහැර​ මුවගුළු කිසි දාක​
උතුමෝ යෙහෙන් වැජඹී හිඳිනා සේක​

පිය-පුතු මැති ඇමතිවරු මේ අසුන අරා
සිටියෝ දශක තුන හතරක් ගෙවෙන තුරා  
අපි පියමං කරපු  මේ ගුරු පාර පුරා 
නොතිබිණි දිය කඩිති බොරදිය කඳුරු දරා

මල්ලිකා එම් බණ්ඩාර​
27. 07. 2019

Friday, 19 July 2019

පාස්කු විප්‍රවාසය​ ​


ලෑලි පුටු බංකු වල එකට එක පෙළට ඉඳ ​
දූලි වැකි සිඟිති අත්-පා දැවටි සුවඳ විඳ​
බොහෝ කලකට ඉහත​ සබත්දා අකුරු කළ​  
තවම වියපත් නොවූ නුඹලාව
සිතුවමක් වගේ හිත ඇඳෙනවා

ඇඟිළිකරු තෙරපාන 
වෙල් නියර මඬ ගොඩේ
ගුරු පාර දිගේ ගිය ගමන් මඟ​
මේතරම් දිගුවෙතැයි මම මෙන්ම නුඹලාද​
නොඇදහූ බව හිතට දැනෙනවා

පුංචි සන්දියේ අපි දෙව්මැදුරු දොර ඉඳන්
උත්ථාන ගීතිකා ගැයූ හැටි
මඳ සුළං පොදක දැවටිලාවිත්
අදත් මා සවන් මත රැඳෙනවා

අල්තාරයෙන් නැඟුණ 
සුවඳ දුම් වළල්ලක්
නුඹලාගෙ අවසාන සුසුම් වැල් හා මුසුව​
සත් සමුදුරෙන් මෙහා 
කොදෙව්වට​ පාවෙලා 
මගෙ සවන් පත් අසල​
​කොඳුරනා සෙයක් මට ඇහෙනවා

හදිසියේ නිවී ගිය​
ඉටිපහන් පෙළක් සේ 
සිනාමල් පීදිච්ච 
ළපටි සිත් සතන් තුළ​
කණක එළි දල්වලා
සමිඳු තුළ සාමයෙන් 
සැතපෙනා නිම්නයේ
යළිත් මුණගැහෙන්නට​  
මම පෙරුම් පුරනවා


මල්ලිකා එම් බණ්ඩාර
29. 04. 2019

පාස්කු ඉරිදා



තවම උත්තාන වී නැති දෙවිඳු පල්ලියේ
එල්ලිලා සිටිනු දුටු කෙණෙහි දළ කුරුසයේ
නෙක නමින් අපි යදින​ දෙවි ගොල්ල​
මුදාගත නොහැකියෙන්
අසමත් ද මකන්නට උපත හා සමඟ එන
මරණයේ සෙවැනැල්ල​?

සාමයේ දෙවි නොවැඩි “ක්‍රයිස්චර්ච්” පල්ලියේ
ඇවිත් හිටියා එකෙක් සාතන්ගෙ කල්ලියේ
උත්තාන දිනයේම​ මීගමුව පල්ලියේ
කියන් මට දෙව්මව්නි
මගෙ යැදුම් හඩ කිමද නෑසුනේ

බිඳ වැටුණි මගේ ලොව​
තැනූ බැතිබර හිතින්
වැරැදුනේ මටද නුඹටද කියනු මැන ඉතින්
ගීතිකාවක් නොවී සුවහසක් වූ සිහින​
යාතිකාවක් වෙලා නැතුනේ ඇයි මෙහෙම​?

මල්ලිකා එම් බණ්ඩාර​
21 .04. 2019

සිපිරිගෙය​



පොසොන් සඳ මෝදු වෙන ඉසව්වේ
අවිදු මඩ වගුර​ වැද කෙළින​ වනචාරීන්ට
ණැනස පාදන පිණිස​
ගොහොරු බිම​ පින්කෙතක් කරනුවස්
මිහිතලය දොවාගෙන​
කුළුණුබර මිහිඳු සඳ
උදාවූ සේක​ සිත් නිවාලන​

පුරුෂෝත්තම ඇසින්
ලිංගිකත්වයේ කොටු පවුර තුළ​ බැඳ දමා
ගැහැණු වට කර තැනුව
සංස්කෘතික සිපිරිගෙයි 
වැට කඩොළු බිඳිනු වස්
කාන්තා නිදහසට මුල් ගල තිව්ව 
බෝ සමිඳු වැඩම්මූ
සංගමිත්තාතුමූ ඉතිරියකි
දළදාව වැඩම්මූ  හේමමාලාතුමූ
ඔබද අභීතවු ඉතිරියකි
එදා සිට මෙදාතුර කාන්තා හිංසනය​
නීතිගත කරන්නට
කුළුහරක් ගාල වැද​
හිවල් වත රැකගන්ට
ගෙලේ රන්හුය බැන්ද බොහොඬුන්ට
දියවන්නාව බොර කරන මීමුන්ට​
මව් පදවි දුන්නෙත් ගැහැණුන්‍ ය​.

එවන් මව් පදවියට නිගාදී
නැති එකාගේම ඉහමොළ කකා
ඇති එකා යෙහෙන් වැජඹෙන පිණිස​
රජුන් මැති ඇමැතියන් බිහිකරන
මුග්ධ​ දන මන දොවා, අවිදු මළ හරනා
මඟ කියා දුන මැනව​
බුදු සාමිනේ, ජේසුනේ-
අල්ලාහු අක්බර්, එලෝහිම්
ලෝක පාලන දෙවිසුවාමිනේ!

මල්ලිකා එම් බණ්ඩාර​
25. 03. 2019

A Heartiest Farewell!



Who cares the grammar?
Who cares the tradition?
When you come for the last farewell
for me a heartiest “good bye!
Through your love
from the bottom of your heart
not through books
not through a ready-made hymn
not through any scriptures,
Just a song, just poetry,
A fresh and real one!
Don’t care about rhythm 
I know you aren’t a poet or a singer
Your love was a combination of all kind of qualities
that soaked in sweetness of life
It will be a perfect farewell song
The life that we lived together
we wept together
we laughed together
no needed respect
just give me a heartiest farewell
with a few simple words!

Mallika M Bandara 

 8. 04. 2019

Monday, 15 July 2019

හංස​ පියාපත්

සුමට බුමුතුරුණු මත
පා සඟළ​ ගැටෙන සඳ​
තවම ගිළිහී නොගිය​
සුවඳ රැඳි මතක​ පොත​
හෙමි හෙමින් පෙරළිලා
අත වනයි ඉඟි මරයි
කුමක්දෝ කොඳුරලා

දෙණිපෙතේ පිණි ඉහුණ​ ​
උඳු පියළි පත් මෙළෙක
කිඳී ඇත හිත කොනක
දශක ගණනක් දුරක​

නිලන ඇළ ඉවුර මත
තරු කැකුළු ඉහිරිලා
ගැට පිච්ච මල් සුවඳ
මඳ පවනෙ දැවටිලා

ළමා විය නිමාකළ​
සිනා රැළි මං සලක​
ගීතයක්වී ඇසෙයි
පෙණ බුබුළු රැඳි දොලක​

රන් හුයෙන් රටා ඇඳ​
හිරු සිනාසෙන උදේ
අපේ සෙවැණැළි ඇඳුන
ගම්ගොඩේ මිහි බඳේ
මතක හස පෙළක් සේ
අහස් ගැබ සරසලා
පියාඹා යන අයුරු
දකිමි නෙත බොඳවෙලා

මල්ලිකා එම් බණ්ඩාර​

 08 07. 2019