පා සඟළ ගැටෙන සඳ
තවම ගිළිහී නොගිය
සුවඳ රැඳි මතක පොත
හෙමි හෙමින් පෙරළිලා
අත වනයි ඉඟි මරයි
කුමක්දෝ කොඳුරලා
දෙණිපෙතේ පිණි ඉහුණ
උඳු පියළි පත් මෙළෙක
කිඳී ඇත හිත කොනක
දශක ගණනක් දුරක
නිලන ඇළ ඉවුර මත
තරු කැකුළු ඉහිරිලා
ගැට පිච්ච මල් සුවඳ
මඳ පවනෙ දැවටිලා
ළමා විය නිමාකළ
සිනා රැළි මං සලක
ගීතයක්වී ඇසෙයි
පෙණ බුබුළු රැඳි දොලක
රන් හුයෙන් රටා ඇඳ
හිරු සිනාසෙන උදේ
අපේ සෙවැණැළි ඇඳුන
ගම්ගොඩේ මිහි බඳේ
මතක හස පෙළක් සේ
අහස් ගැබ සරසලා
පියාඹා යන අයුරු
දකිමි නෙත බොඳවෙලා
මල්ලිකා එම් බණ්ඩාර
08 07. 2019
No comments:
Post a Comment