Thursday, 25 June 2020

පළඟැටි රඟ මඬළ

නිදහසට ඇණ ගැසූ
අදහසට වැට ගැසූ
සිනහවට තිත තැබූ
මහමෙර හිසට දී
කස පහර පිරිනැමු
අරුමයකි විවාහය! 

කැමති අකැමැති දෑ  ​
දෙවරක් හිතන්නට
කිරා මැන ලිප තියා
පත අට එකට හිඳ
කන් හැන්ද ගානේ 
පත්තියන් වෙනතුරා
බිඳෙන් බිඳ පොවන්නට
බැරිම තැනදී වුණත්  ​
ඉවසීම ඉගැන්වූ
උරුමයකි විවාහය

නිවනට වැට බැන්ද
සසරට මං ඇන්ද
සැපයයි හිතූ දෙයින්
දහ දුකම​ අත් වින්ද
කරුමයකි විවාහය

දැන හෝ නොදැන යන
ප්රපාතෙට ඇද වැටෙන
වැටුණ වුන් කිසි විට
වැටී ඇති බව නොකියන

නොලදොත් මියෙම්වා
ලැබුණොත් රැකෙම්වා
පැතූ මුත් ලද පසුව
නයි පොළොන් විස කැවෙන
උභතෝ කෝටිකය
විවාහය​!

දෙවියන් එක්කරන
මිනිසුන් වෙන් කරන
ගිනි සිළුවට ඇදෙන
පළඟැටි රඟ මඬළ
විවාහය​!

මල්ලිකා එම් බණ්ඩාර

25. 06. 2020

Wednesday, 24 June 2020

අළුත් කුසලාන



පැයක් වරුවක් නොවේ දවසක්
හැඬිය හැකිමුත් ඉකිගසා
කඳුළු පොදියක් නොදේ පිළිතුර
මා අසන පැනයට දොඩා

මෙයද පාඩම මට උගන්වන
මගෙ ඉරණම පෙළගසා
දකිමි තතුසේ පවතිනා දේ
නිහඬවම දෙනුවන් වසා

සයුරු රළ පෙළ ඇදෙන වෙරළත 
වියරු මොහොතක​ හැපී වැලි මත 
බිඳෙමි දිය බුබුලක් වෙලා
හිඳිමි වැලි කැටයක් වෙලා

අදත් ලුණු බිඳුවක් වැටී ඇත
අළුත් කුසලානය පුරා
එහෙත් වැළඳිය යුතුය අමිහිර
මිහිරි ඔසුවක් සේ සිතා   


මල්ලිකා එම් බණ්ඩාර
06. 06. 2020


මද්දුම බණ්ඩාර​

මැරෙන​ හැටි මම පෙන්වමි - මම පෙන්වමි… මම පෙන්වමි
අයියන්ඩි, නුඹ  බය වෙන්නෙපා  - නාඬා ඉඳින්-  නාඬා ඉඳින්

කන්ද උඩරට ධීර තෙද බල
පරපුරක​ බුහුමානයෙන්
පිදුම් ලත් මේ පිං බිමේ දිනු
සිංහ පෝතක වෙමිය මං

පවර​ ඇහැලේපොල දිසාවේ
මා පියා අභිධානයෙන්
මරණයට බිය නොවෙමි - ගෙල දෙමි
අසිපතට අභිමානයෙන්

උතුම් සිරි දළදා සමිඳු
දිවමන්ව හිඳිනා අනුහසින්   
මගේ රට දැය සමය මතුදා
මිදේවා මේ උදහසින්



මල්ලිකා එම් බණ්ඩාර

24.06.2020


Thursday, 18 June 2020

අත් හැරීම​



දූ පුතුන් නැති මිනිස්සුන්හට
මා පියන් නැති දූ පුතුන් හට
නෑසියන් නැති  නිදනවුන් හට
හැකිද මට කවියක් ගොතන්නට​?

කාසි නැතිදා වාසි නැතිවී
ලේසි නෑ ජීවිතය රළු වී
කියා ගන්නට නොහැකි දුක් කඳ
දැනේවිද දුක නොවිඳිවුන් හට​?

උනන කඳුළැල් කොපුල හරහා
ගලා යන ලෝදියට හරවා
ජීවිතේ ගිනි කන්ද පාමුල
හඬන උන් රැක ගනුවනළවා

ඇවිද යන මුත් ගිනි යවට මත
කෙළ බිඳක්වත් බිම හෙලනු නැත
ජීවිතේ වේදිකාවට නැඟ
රඟනු හැර හිමි කොටස අභිමත

ලොවක් වෙනුවෙන් යළි හඬන්නට
කඳුළු මා නෙත ඉතුරු වී නැත
හලා හල විස ඔතා මීපැණි
පුරමු සව්දිය විලස මිදියුස

භවෙන් භවයට ඇදෙන වරපට
බිඳ දමන්නට සවිය නැති කොට
ගිලෙන්නට පෙර රළ පතර මැද
අබිලි නෞකාවට බැඳී ලොබ
ගුදම් පුරවා තබන ලොලකිම ?
අතැර නොදමා සයුරු පතුළට!
මල්ලිකා එම් බණ්ඩාර

09. 06. 2020

Thursday, 11 June 2020

තනි මල​

තනි මලක් වී පිපී ඇතිමුත්
නෙළාගන්නට හිතන් නෑ
සැහැසි විණිනම් නුඹේ පිවිතුරු
සොඳුරු බව ළඟ රැඳෙන්නෑ

සාවධානව සවන් දෙනු මිස
කුරුළු කූජන තුරුමතේ
භාවනාවක බැඳී යනු මිස
පිපුණ මල දෙස වන පෙතේ

දැහැන් ගතවී නිවා සනහන​ ​
අරුමයකි නුඹ මගෙ හිතේ
දුලා මනකල් හැඟුම් පුබුදන
උරුමයකි මගෙ හදවතේ

හිමිකමක් නැති වුවද කම් නැත
අමිල වූ අගයට වතේ
දීමනාවකි සොබා දහමේ 
විඳිනු මිස අත් නොවනසේ



මල්ලිකා එම් බණ්ඩාර​

11. 06. 2020


පරණ හීන​




මැදියම රැයේ ඇහිලා බෙරිහන් දීම
කිමදැයි අසමි මම  නිදිමත අතරේම
“ඇය” විත් නුඹ අවදි කළ බව කීවාම
අකුණක් පිපිරුණා මගෙ කන් බෙරයේම​ ​

“හීනෙන් ඇවිත් මගෙ සයනය ගාවා
නැඟිටින්නැයි කියා ඇගෙ දෝතම පෑවා
කීමුත් දකිමි නෙත කඳුළක් නළියනවා
ගිනි පුපුරු මගෙ හිත ගිනි  මොලනවා

අතපැන් වඩා සුළඟිළි ගැට ගැහුවාම
හිත පැටලුන තැනින් ගැලවී නැත තාම
කුල සිරිතට පොරොන්දම් වල සීහීම
පිරියම් කළ හැකිද​ දෙහිතක් පෑහීම

මීමා මඬට ගොනු දිව යන්නේ ගොඩට
සීමා වැට කඩොලු බිඳ යයි හුරු තැනට
හානා හීය කෙවිටෙන් මෙහෙයන කලට
දෙහිතක් ගැලපේද තව කෙනෙකුගෙ අණට

මල්ලිකා එම් බණ්ඩාර
28. 05. 2020