Thursday, 11 June 2020

පරණ හීන​




මැදියම රැයේ ඇහිලා බෙරිහන් දීම​
කිමදැයි අසමි මම  නිදිමත අතරේම​
“ඇය” විත් නුඹ අවදි කළ බව කීවාම​
අකුණක් පිපිරුණා මගෙ කන් බෙරයේම​ ​

“හීනෙන් ඇවිත් ඈ මගෙ සයනය ගාවා
නැඟිටින්නැයි කියා ඇගෙ දෝතම පෑවා”
කීමුත් දකිමි නෙත කඳුළක් නළියනවා
ඒ ගිනි පුපුරු මගෙ හිත ගිනි  මොලනවා

අතපැන් වඩා සුළඟිළි ගැට ගැහුවාම​
හිත පැටලුන තැනින් ගැලවී නැත තාම​
කුල සිරිතට පොරොන්දම් වල සීහීම
පිරියම් කළ හැකිද​ දෙහිතක් පෑහීම​

මීමා මඬට ගොනු දිව යන්නේ ගොඩට​
සීමා වැට කඩොලු බිඳ යයි හුරු තැනට
හානා හීය කෙවිටෙන් මෙහෙයන කලට​
දෙහිතක් ගැලපේද තව කෙනෙකුගෙ අණට​

මල්ලිකා එම් බණ්ඩාර​
28. 05. 2020

No comments:

Post a Comment