හේවිසිය ගිඟුම් දෙන
දවුල් හොරණෑ හඬට
මිහිමඬළ සවන් දෙන
මල් පහන් සුවඳ දුම්
වාතලය සනසවන
අසිරිමත් හෝරාව
උදේ තේවා මුරය!
අසිරිමත් හෝරාව
උදේ තේවා මුරය!
දළදා වීදියේ පදික වේදිකාවේ
අම්මාගෙ උණුහුමේ වැතිර හිඳ
පොසොන් පෝදා රැයේ
පිපෙන තරු මල් ඇහිඳ
පුර හඳට හිනාවුණ
දොළොස් හැවිරිදි වියේ
දැරිවි මම!
දැරිවි මම!
යාන්තම් දෑස් පියවෙන වෙලේ
මාව දෝතට අරන් මැඳුරු දොර
ගෝණි කඩමාල්ලක
හොවා
තුරුළු කරගත් පහස,
වළාකඩ දෙබෑකර හඳ එබී බලන සඳ
සනිටුහන් කර ගතිමි
දානපති මුදලාලිගේ පුතා,
ලොකු බේබිගේම බව.
මිහිර අමිහිර මුසුව
ඉහ මොළ දැදුරු කළ,
එහෙත් හිත ලොබ බඳින
යළිත් ඉල්ලා හඬන
අති මධුරවූ සුවය!
මොහොතකින් නිමාවිය
රත්වණින් පෙඟී ගිය
මගෙ ගවුම් කඩමල්ල
වළා බැම්මේ එතුන මීදුමේ
උළුපැන් ගෙය අසල
ශුද්ධවූ වැව් දියෙන්
ශුද්ධවූ වැව් දියෙන්
සෝදලා දුන්නෙත් අම්මාය.
ඇගේ තේවා මුරය නිමා විය.
මේ මගේ වාරයයි!
දොරට වැඩි දා ඉඳන්
අතින් අත මාරු වුණ,
සන්නසක් නැති ගම්වරක් වැනි
වීදි දරු දෙදෙනෙකුට මව් වී
"ගිනි සිහිළ" අභිදාන ලද්දී,
සන්නසක් නැති ගම්වරක් වැනි
වීදි දරු දෙදෙනෙකුට මව් වී
"ගිනි සිහිළ" අභිදාන ලද්දී,
වීදියේ නිල නොලත්
රැජින මම වෙමි අදත්!
මල්ලිකා එම් බණ්ඩාර
1995
No comments:
Post a Comment