Friday, 29 May 2020

දොරට වැඩීම​

කඳු වැටිය දැදුරු කර
හේවිසිය ​ගිඟුම් දෙන
දවුල් හොරණෑ හඬට​ 
මිහිමඬළ සවන් දෙන 
ම​ල් පහන් සුවඳ දුම් 
වාතලය සනසවන​ 
අසිරිමත් හෝරාව​ ​
උදේ​ තේවා මුරය​!

දළදා වීදියේ පදික වේදිකාවේ
අම්මාගෙ උණුහුමේ වැතිර හිඳ
පොසොන් පෝදා රැයේ 
පිපෙන තරු මල් ඇහිඳ​ 
පුර හඳට හිනාවුණ​
දොළොස් හැවිරිදි වියේ
දැරිවි මම​! 

යාන්තම් දෑස් පියවෙන වෙලේ
මාව දෝතට අරන් මැඳුරු දොර
ගෝණි කඩමාල්ලක​ හොවා
තුරුළු කරගත් පහස​,
වළාකඩ දෙබෑකර හඳ එබී බලන සඳ​
සනිටුහන් කර ගතිමි ​ 
දානපති මුදලාලිගේ පුතා,
ලොකු බේබිගේම බව​.

මිහිර අමිහිර මුසුව 
ඉහ මොළ දැදුරු කළ,
එහෙත් හිත ලොබ බඳින​
යළිත් ඉල්ලා හඬන​
අති මධුරවූ සුවය​!
මොහොතකින් නිමාවිය​

රත්වණින් පෙඟී ගිය​ 
මගෙ ගවුම් කඩමල්ල​ 
වළා බැම්මේ එතුන මීදුමේ 
උළුපැන් ගෙය අසල 
ශුද්ධවූ වැව් දියෙන්
සෝදලා දුන්නෙත් අම්මාය. ​

ඇගේ තේවා මුරය නිමා විය.​
මේ මගේ වාරයයි!
දොරට වැඩි දා ඉඳන්
අතින් අත මාරු වුණ​, 
සන්නසක් නැති ගම්වරක් වැනි
වීදි දරු දෙදෙනෙකුට මව් වී
"ගිනි සිහිළ" අභිදාන ලද්දී, 
වීදියේ නිල නොලත් 
රැජින මම වෙමි අදත්!

මල්ලිකා එම් බණ්ඩාර​

1995



No comments:

Post a Comment