Monday, 11 May 2020

කෝන්තරකාරී



පැයක් වරුවක් නොවේ දවසක්
හැඬිය හැකිමුත් ඉකිගසා
කඳුළු පොදියක් දේද විසඳුම​
අහස පෙරළුන බව අසා?

සසර වෙරළේ වැලිතලා යට
සැඟවෙලා ගිය භවෙන් භවයට​
අරෝවක් පිරිමහන ගානට​
යළිත් ඇවිදින් නඩු අසන්නට!
මේ තරම් මා කළ වරද​ කිම?

මගේ ලොව උඩු යටි කුරුව ගෙන
හෙලා පොළොවේ තළා දමමින​
මළානික මා දෙස බලා ගෙන
සදය හස රැළි නඟනු ඇයි නුඹ​?

සදෙව් ලෝ ගැබ හොවා මොහොතක්
නිරා දුක් ගිනි ලවා සහසක්
දුකම වළඳනසේ  හිඳෙව්වේ 
විරාමෙක සුවදෙවා නිමෙසක්

පාන්තිරයක් වගේ දැල්වී
නිවී යන ජීවිතයෙ එල්ලී
දුකම වළඳා නික්ම යන්නට​
කඳුළ දායාදයට දුන්නේ
නොපියවුණ ණය හිලව්වකටද​ ?

මල්ලිකා එම් බණ්ඩාර​

11. 05. 2020

No comments:

Post a Comment