දූ පුතුන් නැති මිනිස්සුන්හට
මා පියන් නැති දූ පුතුන් හට
නෑසියන් නැති නිදනවුන් හට
හැකිද මට කවියක් ගොතන්නට?
කාසි නැතිදා වාසි නැතිවී
ලේසි නෑ ජීවිතය රළු වී
කියා ගන්නට නොහැකි දුක් කඳ
දැනේවිද දුක නොවිඳිවුන් හට?
උනන කඳුළැල් කොපුල හරහා
ගලා යන ලෝදියට හරවා
ජීවිතේ ගිනි කන්ද පාමුල
හඬන උන් රැක ගනුව නළවා
ඇවිද යන මුත් ගිනි යවට මත
කෙළ බිඳක්වත් බිම හෙලනු නැත
ජීවිතේ වේදිකාවට නැඟ
රඟනු හැර හිමි කොටස අභිමත
ලොවක් වෙනුවෙන් යළි හඬන්නට
කඳුළු මා නෙත ඉතුරු වී නැත
හලා හල විස ඔතා මීපැණි
පුරමු සව්දිය විලස මිදියුස
භවෙන් භවයට ඇදෙන වරපට
බිඳ දමන්නට සවිය නැති කොට
ගිලෙන්නට පෙර රළ පතර මැද
අබිලි නෞකාවට බැඳී ලොබ
ගුදම් පුරවා තබන ලොල කිම ?
අතැර නොදමා සයුරු පතුළට!
මල්ලිකා එම් බණ්ඩාර
09. 06. 2020
No comments:
Post a Comment