බැන්ද සුළඟිළි සිහින් හුපට
කුරිරුවී යදමක්ව මෙතරම්
අපාගතවන බව නොදත්තෙමි
පලය වී ප්‍රේමයේ මනරම්
එපාවන තුරු බැඳුන කුලගෙය
සිහිනයක්වී රැය පුරාවට
සපා කෑවේ මගේ හදවත
කීතු කීතුව ඉරා යන්නට
මැකී අඩසඳ අඳුරු රෑ මැද
වැළඳ ගෙන ජීවිතය ළමැදට
රැඳෙමි රාහුල කුමරු හින්දා
හොවා මියැදුන මතක පොදි මැද
සෙනෙහසම යෙහෙකැයි පැතූ මුත්
සොයා ආවා නොවෙයි රජ සැප
රැහැට එරෙහිව පලා ආයෙන්
කෙලෙස අබිනික්මන් කරන්නද?
භද්‍ර යෞවනයේ පිරූ පෙම්
ක්‍ෂුද්‍ර වීනම් පාරමී දම්
භද්ද කච්චායනා වෙන්නට
ඉඳ්‍රඛීලය සේ හිඳින්නම්!
මල්ලිකා එම් බණ්ඩාර
11.11.2020
No comments:
Post a Comment